මූල්‍ය මණ්ඩල සාමාජිකයා මහ බැංකු ලොක්කන්ගේ රෙදි ගලවයි

0
473

අර්ථසාධක අරමුදල භාර නිලධාරීන් හරහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදුකර ඇති භාණ්ඩාගාර බැඳුම්කර මගඩිවලින් මහ බැංකුවට සිදුවූ පාඩුව රුපියල් කෝටි දහස් ගණනක් බවත්, මහ බැංකුවේ යම් ඉහළම නිලධාරියකු නොදැනුවත්ව දිගින් දිගටම එවැනි මගඩියක් සිදුකළ නොහැකි බවත්, බැංකුකරණය පිළිබඳ විශේෂඥයකු වන මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල සාමාජිකයකුද වූ නිහාල් ෆොන්සේකා මහතා ඊයේ (16දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ කියා සිටියේය.

දිගින් දිගටම මහ බැංකුවටත් අර්ථසාධක අරමුදලටත් පාඩු ගෙන දෙන ආකාරයෙන් සංවිධානාත්මක හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ගෙන යෑමට තනි නිලධාරියකුට පමණක් හැකි වන්නේදැයි කොමිසමේ සාමාජික ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා එසේ කීවේය.
මහ බැංකුවෙන් පඩි ලබන මහ බැංකුවේම නිලධාරීන් වන ඉන්දික සමන් කුමාර හා උදයසීලන් යන දෙදෙනා සම්බන්ධ වෙමින් සැලසුම් සහගතව හා කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියා කරමින් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවිධිමත් ලෙසත් පාඩු ගෙන දෙන ලෙසත් භාවිත කිරීම මඟින් අර්ථ සාධක අරමුදලටත්, ශ්‍රී ලංකා මහ බැංකුවටත් සිදුකොට ඇති අලාභය රුපියල් කෝටි දහස් ගණනක් වන බව ප්‍රකාශ කළ ඒ මහතා එක් බැඳුම්කර ගනුදෙනුවක් තුළින් සිදුව ඇති අලාභය පමණක් රුපියල් පනස් පන් කෝටියකට (රු. 55000000ක්) බව පෙන්වා දුන්නේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් නිහාල් ෆොන්සේකා මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දුනි.
ඒ මහතා කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත්තේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් හා පරිණත බැංකුකරණය පිළිබඳ විශේෂඥයකු වශයෙන් ඔහුගේ විශේෂඥ දැනුම තුළින් කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති යම් යම් බැංකු ක්‍රියාකාරකම් පිළිබඳ අවශ්‍ය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා බව සාක්‍ෂි විභාගය ආරම්භයේදීම කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here