ජේ.ආර්. මාමණ්ඩි උඩ ඇරපු සරුංගලේ නූල කඩා දාන්න හදන බෑණා

0
536

අගමැතිතුමාගේ මාමණ්ඩි ජනපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්දියාවේ බලපෑමට බොහොම අකැමැත්තෙන් පළාත් සභා බිහි කරලා උතුරු පළාත සරුංගලයක් කරලා උඩ හැරියා. නමුත් එහි නූල ජනපති අතේ තබා ගත්තා. දැන් අගමැති බෑනා හදන්නේ ඒ සරුංගලේ නූල කපලා අපෙන් ගැලවී නිදහසේ අෑතට අෑතට පා කරලා හැරලා උතුරු පළාත ඊළාම් රාජ්‍යයක් බවට පත් කරන්න. ප්‍රභාකරන්ට කරගන්න බැරි වුණු දේ සම්පන්දන්ට කර ගන්නට ඉඩ දෙනවාද කියා තීරණය කිරීම මේ රටේ දේශප්‍රේමී ජනතාවට භාර යැයි නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (16දා) පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
තවද බැඳුම්කර වෙන්දේසියට යෑමට අර්ජුන මහේන්ද්‍රන්ට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා උපදෙස් දුන්නාය කියමින් අර්ජුන මහේන්ද්‍රන් කියූ කාරණය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කොමිසම ප්‍රශ්න කළ යුතු බවත් බොහෝ ආයතනවලට ඇමැතිවරයාට විධාන නිකුත් කිරීමට බලයක් ලබාදී ඇතත් මහ බැංකුව සම්බන්ධයෙන් ඒ නීතිය වෙනස් කර ඇත්තේ මහ බැංකුව දේශපාලනයෙන් මිදී ආර්ථික කාරණා පමණක් සලකා බලා මූල්‍ය ප්‍රතිපත්ති තීන්දු කළ යුතුව ඇති බැවින් බවත් වැඩිදුරටත් මන්ත්‍රිවරයා පැවැසීය.
ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.

ජනාධිපතිතුමන් යාපනේ සංචාරය කරන විට ශිවාජිලිංගම් මන්ත්‍රිතුමා ඇතුළු පිරිසක් දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා උද්ඝෝෂණයක් කළා. ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කිසිවකු නෑ කියා අපි ඉතාම වගකීමෙන් කියනවා. ත්‍රස්තවාදී ක්‍රියා කරපු බවට, සමූල මිනිස් ඝාතන කරපු බවට, සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා සිරදඬුවම් විඳින අයයි මේ ශිවාජිලිංගම්ලාට, විග්නේශ්වරන්ලාට දේශපාලන සිරකරුවන් වෙලා තියෙන්නේ.

දෙමළ ජාතික සන්ධානය තරම් දෙබිඩ්ඩන් පිරිසක් තවත් නැහැ. ඒ අතරේම බොරු යුද අපරාධ චෝදනා නඟමින් රණවිරුවන්ට දඬුවම් කරන්න කියලත් උද්ඝෝෂණය කරනවා.
යාපනයේ හින්දු විද්‍යාල හන්දියේ ශිවාජිලිංගම් මන්ත්‍රිතුමා ඇතුළු පිරිස උද්ඝෝෂණය කරන විට හම්බන්තොටදී වගේම අධිකරණය එතැන උද්ඝෝෂණය කිරීම තහනම් කරලයි තිබුණේ. නමුත් පොලිසිය පොලු පහර දුන්නෙ නැහැ. කඳුළු ගෑස් ගැහුවේ නැහැ. රක්ෂිත බන්ධනාගාරගත කළේ නැහැ. ඒ වෙනුවට උද්ඝෝෂණය මැදට ජනාධිපතිතුමා ගොස් සාකච්ඡා කරන්න පොරොන්දු වෙනවා.

දකුණේ සිංහලයාට එක නීතියකුත් උතුරේ දෙමළාට තව නීතියකුත් ක්‍රියාත්මක වන විට සිංහලයාට දෙමළා ගැන සාධාරණ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒක මේ ආණ්ඩුව උදේ සිට රෑ වන තුරු මතුරන සංහිඳියාවට මරු පහරක් කියන එක ආණ්ඩුවට මතක් කළ යුතුයි.
පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද

උතුරේ තරුණයාගේ කරෙන් සයනයිඩ් එක ගලවපු කෙනාද යකා, උතුරේ ධීවරයාට විසිහතර පැයම තම රැකියාව කිරීමට ඉඩ හසර ලබාදුන් කෙනාද යකා, උතුරේ යාල්දේවි දුම්රිය වසර 30කට පස්සේ ගමන් කිරීමට ඉඩසලස්සපු කෙනාද යකා, උතුරේ වැන්දඹු තරුණියන් ඇති වීම වළක්වපු පුද්ගලයාද යකා, කියල අපි ජනාධිපතිතුමාගෙන් අහන්න කැමැතියි.

ජනාධිපතිතුමාට අපිට කියන්න තියෙන්නේ ‘අහෝ ජනපති නොදුටු මොක්පුර’ කියලයි.
සැබෑවටම යක්ෂයා දැකිය යුතු නම් කැඩපත ඉදිරියට ගොස් එබී බලන්න යැයි අපි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයට මතක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here