මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රජය කෝටි කීයක් හොරකම් කරලා තියෙනවාද ?

0
530

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රජය කෝටි කීයක් හොරකම් කරලා තියෙනවාද, නාස්ති කරලා තියෙනවාද කියලා දැන් ඉතා පැහැදිලියි. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැහැදිලිවම සාක්ෂි දුන්නා, අගමැතිතුමා තමයි ඔහුට උපදෙස් දුන්නේ කියලා. රවි කරුණානායක මහත්තයා තමයි අඩු ලන්සුවට ඉල්ලන්න කිව්වේ, ඒ නිසා අපේ බැංකුවලට මෙච්චර පාඩු වුණා කියලා, ඊට පස්සේ රාජ්‍ය බැංකු ලංකා බැංකුව, මහජන බැංකුවේ සභාපතිවරු ඇවිල්ල ප්‍රකාශ කෙරුවා යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු නිෂ්පාදකයන්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මඟින් සංවිධානය කළ ජන හමුවට සහභාගි වෙමිනි.
නාමල් කරුණාරත්න මහතා මෙසේද පැවැසීය.

ආණ්ඩුවක් විදියට ගත්තොත් මොන තරම් සල්ලි නාස්ති කරනවද. මහජනතාව රුපියල් ලක්ෂයක් වියදම් කළොත් 40,000ක් යනවා රජයට. ඒ සේරම බදු. ඒ සල්ලිවලින් තමයි මහ බැංකුව පිරෙන්නේ. ඒ සල්ලි තමයි මේ හොරකම් කරන්නේ. ඒ නිසා ඔවුන්ට පුළුවන් නම් එහෙම හොරකම් කරන්න, සල්ලි නාස්ති කරන්න, ඇයි මේ කුඩා කර්මාන්ත හිමියාට කුකුල් ගොවියාට සහන ලබා දෙන්න බැරි. කුකුල් ගොවියා අමාරුවේ වැටිලා ඉන්නේ මේ වෙලාවේ ණය කපා හරින්න කියලා යෝජනා කළත් ඒකත් සාධාරණයි. ඔවුන්ට ඒක කරන්න බැරි කමක් නැහැ.

පසුගිය ආණ්ඩුවෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා මිනිස්සුන්ට ඇට බෙදාගෙන බෙදාගෙන ගියා. අපි කියනවා මේක වැරැදියි කියලා. ඇට බෙදීම වෙනුවෙන් වියදම් කරපු කෝටි ගාණට වඩා හන්දියක් හන්දියක් ගාණේ මහා දැවැන්ත කටවුට් දාලා පත්තරවල පිටු ගණන් දාලා රූපවාහිනි නාළිකාවල ඇඩ් දාලා ඒ සඳහා ප්‍රචාරක වියදම් කෙරුවා ප්‍රකෝටි ගාණක්. ඇට බෙදන එක නෙවෙයි කරන්න ඕන. රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවලා ගොවියා ඊට අදාළව නඟා සිටුවීමත් ගොවියාට වෙළෙඳපොළක් නිර්මාණය කරන එකත් නිෂ්පාදන වියදම අඩු කරලා ඒ නිෂ්පාදනයට හොඳ මිලක් ලබා දෙන එකයි කරන්න ඕන. අවුරුදු එක හමාරක් ඇතුළත පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමැතිවරුන්ට සැප ගන්න, සැප වාහන ගන්න, නිල නිවාසවලට කෝටි හාරසිය පනහක් පාර්ලිමේන්තුවේ පරිපූරක ඇස්තමේන්තු දාලා සම්මත කරගත්තා. ඒවා සම්මත කරන කොට ඒවාට පාට භේදයක් පක්ෂ භේදයක් නැහැ. හැමෝම අත උස්සනවා. මේ කුකුල් ගොවියා කුකුල් කොටුවක මොන තරම් ජරාවක් අත ගානවද? ඒකේ තියෙන ඩස්ට් එකට සෙම, පීනස් වගේ නොයෙක් ලෙඩ හැදිලා. මේ ගොවියෝ මොන තරම් දුකක් විඳිනවද. ඒ මිනිසුන්ගේ දාඩිය මහන්සියෙන් උපයන එක තමයි මහ බැංකුවට යන්නේ. ඒවගෙන් තමයි ඒ අයට සැප ලැබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here