සියලු කැප කිරීම් කොට නව ව්‍යවස්ථාව පරාජයට පත් කළ යුතුයි – මුසම්මිල්

0
525

කළ යුතු සියලු කැප කිරීම් කොට නව ව්‍යවස්ථාව පරාජයට පත් කළ යුතු බවත් නැතහොත් නූපන් පරම්පරාවද අනාගතයේදී මේ දේශපාලකයන්ට ශාප කිරීම නියත බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (10දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේද පැවැසීය.

අපට මේ ව්‍යවස්ථාදායක සම්පාදක ක්‍රියාවලිය පටන්ගත් දින පෙනුණා මේක ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පටන්ගත්ත ක්‍රියාවලියක් බව. මහජන අදහස් විමසීම සඳහා පත් කළ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා කියන්නේ තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි හරියක් ෆෙඩරල් මතවාදය දරමින් ඒ වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක්. ජනතා අදහස් කියලා බහුතරයක්ම අදහස් අරගෙන තියෙන්නේ ෆෙඩරල් හිතවාදීන්ගෙන්.

ඒ වගේම ආරාධිත අදහස් ලබා ගැනීම සඳහා මේ කමිටුවට ආරාධනා කරලා තියෙන්නේ එම්.ඒ. සුමන්තිරන් වැනි ෆෙඩරල් මතවාදය දරන පුද්ගලයන්ටයි.
අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව ඇතුළේ බහුතරයක් නියෝජනය කරන විපක්ෂයට ඉඩ නොදී ආණ්ඩුවත් එක්ක ඉන්න ඩීල් විපක්ෂය හවුල් කරගෙන තමයි මේ ව්‍යවස්ථාදායක සම්පාදක ක්‍රියාවලිය ඉදිරියට යන්නේ. මෙහිදී දෙමළ ජාතික සන්ධානයටත් නියෝජිතයන් 2යි ජ.වි.පෙ.ටත් නියෝජිතයන් 2යි, ඒකාබද්ධ විපක්ෂයටත් නියෝජිතයන් 2යි. ඒ අනුව ඉතා පැහැදිලියි ආණ්ඩුව මෙය ඒකීය රාජ්‍යයක සිට ෆෙඩරල් රාජ්‍යයක් දක්වා යන ගමනාන්තයකට ගෙනියන්නේ කියලා.

මේ ව්‍යවස්ථාවේ හංගලා ගහන ගේම ඉතාම පැහැදිලියි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ පැහැදිලිවම ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනයක්. මෙරට ඒකීය ව්‍යවස්ථාවට ෆෙඩරල් එකතු කරපු ව්‍යවස්ථා සංශෝධනය තමයි මෙය. එදා ඒක ඇතුළෙ ජේ.ආර්.ට ඕන වුණේ ශක්තිමත් ධනපති මධ්‍යගත රාජ්‍යයක් බිහි කිරීම.
බුදු දහමට ඇති ප්‍රමුඛතාව ඉවත් කිරීමේ අවශ්‍යතාව ඇත්තේ කාටද? ශ්‍රී ලංකාවේ ඉන්න සාම්ප්‍රදායික ඉස්ලාම් මනුස්සයටද? සාම්ප්‍රදායික හින්දු මනුස්සයටද? සම්ප්‍රදායික කතෝලික මනුස්සයටද?
මේ කිසිවකුට නෙවෙයි ඒ අවශ්‍යතාව තියෙන්නේ. අන්තවාදී කණ්ඩායම් සුළුතරයකටයි මේ අවශ්‍යතාව තියෙන්නේ. මේ එන්.ජී.ඕ. අන්තවාදීන්ගේ වුවමනා ඉටු කිරීමටයි මේ විදියට මේ ව්‍යවස්ථාවෙන් එක පැත්තකින් පාර කැපෙමින් පවතින්නේ.

අනෙක් පැත්තෙන් ඉඳගෙන ජ.වි.පෙ. ටිල්වින් සිල්වා සහෝදරයා කියනවා ව්‍යවස්ථාවේ වචන වැඩක් නැහැ හරයයි බලන්න ඕන කියලා. පැහැදිලිවම ව්‍යවස්ථාව කියන්නේ වචනවලින් හැදිච්ච එකක්. ජ.වි.පෙ. සහෝදරවරු ලැජ්ජා විය යුතුයි මෙවැනි ප්‍රකාශ කරන එක ගැන. කුම්බලා මාළු කෑව නම් දුක විඳපං බළලො කියන කියමන ‘සිරිකොතේ ඉඳුල් කෑව නම් විඳවපං රතු අලි පැටවුනේ’ කියලා ජ.වි.පෙ.ට හරියන විදියට වෙනස් කරන්නයි සිදුවෙලා තියෙන්නේ.

මාත් මුස්ලිම් ජාතිකයෙක් නිසා මා පිළිගන්නෙ නෑ මේ මඟින් සාධාරණයක් වෙනවා කියන එක. සුළු ජාතීන්ට හොඳම සාධාරණය ඉටු වන්නේ ඒකීය රටක් යටතේ පරිපාලන බලය බෙදී යෑමෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here