ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අද

0
621

10ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අද (11දා) 10.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දෙල්තොට කන්දෙතැන්න වැව් පරිශ්‍රයේදී පැවැත්වේ.

සොබාදහම රැක ගැනීමේ සංකල්පය අනුව ජනාධිපති කාර්යාලය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ‘පුනරුදය’ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන ජල පෝෂක ප්‍රදේශ රැක ගැනීම හා වන ගහනය වර්ධනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කෙරේ.
පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනෙහි ප්‍රතිපාදන මත ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙදින සිදු කෙරේ.

වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කරමින් පාසල් සිසුන් වෙත පලතුරු පැළ බෙදාදීම සහ පාංශු සංරක්ෂණ වැඩසටහන් සඳහා මූල්‍ය ප්‍රතිලාභ ලබාදීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇත.
අඹ, පේර, දෙලුම්, දෙහි සහ බෙලි පැළ 3000ක් ජනතාව අතර බෙදාදීමත් පැළ සිටුවීමට සහභාගි වන පාසල් දරුවන් සඳහා වනරෝපා හිස්වැසුමක් බැගින් සහ පරිසර තොරතුරු කට්ටලය බැගින් ලබාදීමටත් නියමිතය.

කන්දෙතැන්න ජලාශය ආශ්‍රිත ජල පෝෂක කලාපය  පාංශු ඛාදනයට ලක්ව ඇති බැවින් එම පාංශුඛාදන තත්ත්වයට පිළියම් ලෙස පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සහ වන වැස්මක් ඇති කිරීමද උළෙලට සමගාමීව සිදු කෙරෙනු ඇත.
ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය අලළා සැකසූ අත් පොතක්ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට නියමිතය.
පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර 2018 වසර වන විට ශ්‍රී ලංකාවේ වන ආවරණය 32%ක් දක්වා වැඩි කර ගැනීම මෙහි ඉලක්කගත අරමුණයි.

සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය වනරෝපා ජාතික රුක්රෝපණ මාසය ලෙස නම් කර තිබේ. රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ඔක්තෝබර් මස පළමුවැනිදා සිට 31 වැනි දින දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට සූදානම් කර ඇත. එම කාලසීමාව තුළ දීප ව්‍යාප්තව පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමෙන් විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ.

මේ සඳහා ප්‍රදේශ ආශ්‍රිත සියලු ප්‍රජා සංවිධානවල සහභාගිත්වය හා සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ ක්‍රියාකාරී දායකත්වය ලබාගැනීමට ද පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here