ඒකාබද්ධ විපක්ෂයට මෙවර අය-වැය ගැන දරුණු සැකයක්

0
475

මෙවර අය වැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත මඟින් සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුව නොමඟ යවන ඉලක්කම් හරඹයක් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ හේතුවෙන් අය වැය ලේඛනය පිළිබඳව ඉතිහාසයේ ඇති වූ දරුණුම අවිනිශ්චිතභාවය හා සැකය මේ වන විට ඇති වී තිබෙන බවද ගුණවර්ධන මහතා පැවැසුවේය. එම නිසා ඉදිරි සතියේදී අන්තර්ජාතිකව මූල්‍ය පිළිබඳව කටයුතු කරන ආයතනවලට මේ පිළිබඳව දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය සූදානමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ගුණවර්ධන මහතා මෙසේ පැවැසුවේ ඊයේ (10දා) ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.

විසර්ජන පනත් කෙටුම්පත පෙරේදා (9දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. රාජ්‍ය අය වැය පිළිබඳව නිල වශයෙන් වගකියන්න ඕනේ රවි කරුණානායක මුදල් අමාත්‍යවරයායි. මොකද 2015, 2016, 2017 වර්ෂ 3 සඳහා විසර්ජන පනත පිළිබඳ රාජ්‍ය අය වැය පිළිබඳව වගකියන්න ඕනේ ඔහුයි.
එතුමා මේ පාර්ලිමේන්තුව නොමඟ යවලයි තිබෙන්නේ. ඉතාම අහිතකර බලපෑමකුයි මේ ඇති කරලා තිබෙන්නේ.
2016 වර්ෂයට වෙන් කරලා තිබෙන මුළු වියදම බිලියන 3,898ක්. නමුත් එලෙස වෙන් කළාට වියදම් කරලා තියෙන්නේ බිලියන 3,106යි. හරියටම 1/5ක් වියදම් කරලා නැහැ. රජයේ වියදම තමයි ජනතාවගේ ආදායම කියන්නේ. වාර්ෂික වියදම අඩු වුණා කියන්නේ රටේ ජනතාව අතර සංසරණය වන මුදල් ප්‍රමාණයත් අඩු වනවා කියන එකයි.
මත්තල ගුවන් තොටුපොළ වගේ ගුවන් තොටුපොළවල් 30ක් හදන්න පුළුවන් මේ ඉතුරු වෙච්ච සල්ලිවලින්. ඒ වගේම නෙලුම් කුලුන වගේ කුලුනු 80ක් හදන්න පුළුවන්. මේ වගේ ඉලක්කම් හරඹයක් කරපු විසර්ජන පනතක් ඉතිහාසයේ තිබිලා නැහැ. මේක බරපතළ ප්‍රශ්නයක්. මේ නිසා රටේ ආදායම වෙනස් වෙනවා. වියදම වෙනස් වෙනවා. අය වැය පරතරය වෙනස් වෙනවා. ලෝක බැංකුව මේ ගැන දන්නවා නම් ඒ වෙනුවෙන් වෙනම පරීක්ෂණයක් කරනවා. මේ වගේ බොරු, දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කරන්නේ නැහැ.
අද ව්‍යාපාර කඩාවැටිලා. ආයෝජන එන්නේ නැහැ. එහෙම වන්නට ප්‍රධාන හේතුවක් තමයි මේ විසර්ජන කෙටුම්පතේ ගැටලුව.

ලෝකයේ හොඳම මුදල් ඇමැතිවරයා වශයෙන් හිටපු මුදල් ඇමැතිවරයා මුළු කැබිනට් මණ්ඩලයම අපහසුවට පත් වන ආකාරයේ අය වැය යෝජනා ඉදිරිපත් කළා. සමහරු ඒවාට අත්පුඩි ගැහුවා. ඒ යටතේ අධ්‍යාපනයට වෙන් කළා 2016දී මිලියන 64,950ක්. වියදම් කළේ මිලියන 6,145යි. ඉතිරිය 58,510ක්. මේක තේරෙන්න කිව්වොත් 5 ශිෂ්‍යත්වය සමත් දරුවකුට මසකට රුපියල් 1,500 බැගින් දරුවො ලක්ෂයකට ශිෂ්‍යත්ව ලබා දුන්නොත් වියදම් වෙන්නේ මිලියන 1,800යි. නමුත් මිලියන 58,000ක් විතර ඉතුරුවෙලා තිබෙනවා.

2016 වර්ෂයට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරපු මුදලින් වියදම් කරලා තිබුණේ 32%ක් පමණයි. මේක ඉතාම අවාසනාවන්ත දෙයක්. මම මේ කරුණු කියන්නේ විගණකාධිපතිගේ වාර්තාව යටතේයි. විගණකාධිපතිවරයා හෙළි කරලා තියෙනවා මේ කරලා තිබෙන්නේ බොරුවක් කියලා.
එදා අපේ රජය යටතේ 5 ශිෂ්‍යත්වය සමත් වූ දරුවන්ට විශාල සහන ප්‍රමාණයක් ලබා දුන්නා. නමුත් රවි කරුණානායක ඇමැතිවරයා ඒ සහන ලබා දුන්නේ නැහැ. අපි පොරොන්දු වෙනවා නැවත ඒ සහන අපේ ආණ්ඩුවක් යටතේ ලබාදීමට. මෙවර අය වැයෙන් කවරදාකටවත් වඩා වැඩි ආරක්ෂක වියදමක් වෙන් කරලා තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
අද දූෂණය බොහෝ සෙයින් වැඩිවෙලා තිබෙනවා. බැඳුම්කර මගඩිය කරන්න අවශ්‍ය ක්‍රමවේද හැදුවේ අගමැතිවරයායි. මහ බැංකුවේ රහස් පවා පර්පචුවල් සමාගම දැනගෙන තිබෙනවා. මේ මගඩිය නිසා පරම්පරා 3කට මෙහි බර අදින්න වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here