ආණ්ඩුව ගැටලුවලට විසඳුම් සොයනවා වෙනුවට එම ගැටලු අතර සැඟවෙලා මැතිවරණය කල් දැම්මා – අනුර

0
689

රට පුරා එකවර මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබීමෙන් වත්මන් ආණ්ඩුව පිළිබඳ ජනතාවගේ ඇගයීම හොඳින් විනිශ්චය කරගත හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

එමෙන්ම මුළු රටේම මැතිවරණය එකවර පැවැත්වීමට හැකිවීම ජනතා ජයග්‍රහණයක් බවද මන්ත්‍රිවරයා කියයි.
නව මැතිවරණ ක්‍රමය හරහා සමානුපාතික සාධාරණ නියෝජනයක් මෙන්ම ශක්තිමත් කාන්තා නියෝජනය, මනාප ක්‍රමය අහෝසි වීම, කොට්ඨාසයකට මන්ත්‍රිවරයෙක් පත්වීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්නුම් කරන බව පවසන ඒ මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ විසින් සැකසූ විකෘති මැතිවරණයට වඩා නව ක්‍රමය යම් මට්ටමින් හෝ ප්‍රජාතන්ත්‍රවාදී බවයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (10දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
අනුර කුමාර මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

අද පරාජිත රාජපක්ෂ කල්ලියට බොරුවක් කියලා සතියක්වත් තියාගන්න බෑ. කලින් කියපු බොරුව බොරුවක් නොකියා තව බොරුවක් කියනවා. ව්‍යවස්ථාව ගැනත් විවිධාකාරයේ බොරු කියනවා. මේක ව්‍යවස්ථාවක් නෙවෙයි. එකිනෙකාගේ අදහස් විතරයි.
පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක මණ්ඩලයක්, අනුකමිටු 6ක් තියෙනවා. ඒ වගේ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. මෙහෙයුම් කමිටුව 76 වතාවක් රැස්වෙලා තියෙනවා. පක්ෂය විදියට අපි අදහස් හා කරුණු 9ක් ඇතුළු කර තිබෙනවා. මෙහෙම තියෙද්දී තමයි එක එක බොරු රට පුරා පතුරු වන්නේ.

දැන් දිනේෂ් ගුණවර්ධනලා මල්වතු නාහිමියෝ මුණ ගැහෙන්න යන්නේ උපදෙස් අනුශාසනා ගන්න නෙමේ. ඔවුන්ගේ අදහස් උන්වහන්සේ ලවා කියවා ගන්න. දිනේෂ් ගුණවර්ධනලා මල්වතු හිමිගේ උපදෙස් පිළිනොගන්නවා විතරක් නෙවෙයි තමන්ගෙ අදහස්වලට විරුද්ධ වුණාම උන්වහන්සේට විරුද්ධව පහර එල්ල කරනවා. මේ සමස්ත හිමිවරුන්ට එල්ල කරන පහරක්. මේ රාජපක්ෂ කණ්ඩායම ඉතා ගෝත්‍රික කණ්ඩායමක්.
ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිශ්චිත සැලැස්මක හිඳිමින් මෙහෙයුමක් දියත් කළා. 2012දී සකස් කළ පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කොට සාධාරණ මැතිවරණයක් දිනා ගැනීමට අපි කටයුතු කළා.

පළාත් පාලන මැතිවරණය දීර්ඝ කාලයක් ප්‍රමාද වීමට පැවැති ඡන්ද ක්‍රමයේ සහ සීමා නිර්ණයේ ගැටලු හේතු වුණා. එමෙන්ම ආණ්ඩුවටත් මැතිවරණය කල් දමාගැනීමේ වුවමනාවක් තිබුණා. ආණ්ඩුව ගැටලුවලට විසඳුම් සොයනවා වෙනුවට එම ගැටලු අතර සැඟවෙලා මැතිවරණය කල් දැම්මා. අපි ඉතාම සලැසුමක හිටියා රටේම පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයක් පවත්වා ගන්න. මොකද, ආණ්ඩුව පිළිබඳ ජනතාවගේ ඇගයීමක් ගන්න හොඳ අවස්ථාවක් තමයි එකවර මුළු රටේම ඡන්දයක් පැවැත්වෙන එක. ඒ වගේම දැන් සමානුපාතිකව සාධාරණ නියෝජනයක් සහිත, මනාප ක්‍රමය නැති, කාන්තා නියෝජනය ශක්තිමත්, කොට්ඨාසයකට මන්ත්‍රිවරයෙක් ලැබෙන සාධාරණ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණයක් පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා.

ඡන්ද ක්‍රමය, සීමා නිර්ණය සහ පළාත් පාලන සංස්ථාපන පනත් තුන කටයුතු සම්පූර්ණ වෙලා තිබෙනවා. දැන් මැතිවරණය සඳහා ඇමැතිවරයා සතියක් ඇතුළත ගැසට් නිවේදනය නිකුත් කරන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ගැසට් නිවේදනය නිකුත් කළ පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා මැතිවරණ පැවැත්වීමට. මෙම මැතිවරණය ලබා ගැනීම ඉතාම සැලසුම් සහගත ක්‍රමවේදයක්. අපි උත්සාහ කළේ දෙසැම්බර් මාසයේ මැතිවරණය පවත්වා ගැනීමටයි. පළාත් පාලන මැතිවරණය සෙනසුරාදා දිනයක පැවැත්වීම අනිවාර්ය නොවුණත් සෙනසුරාදා දිනයක පැවැත්වීම වැඩි සහභාගිත්වයක් ඇතිවිය හැකි බැවින් එවැනි දිනයක පැවැත්වීමට අවධානය යොමු වෙලා තිබෙනවා. දෙසැම්බර් මාසයේ පාසල් වෙන්කරවා ගැනීමේ ප්‍රායෝගික අපහසුතා නිසා මැතිවරණය ජනවාරි මාසයේ අග සෙනසුරාදා දිනයක පැවැත්වීමට දැන් බොහෝදුරට ඉඩ තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමටත් මැතිවරණයේදී ජනතා නියෝජනය සාධාරණ ලෙස ප්‍රකාශ වීමේ අයිතිය වෙනුවෙනුත් අඛණ්ඩ අරගලයක නිරත වෙනවා. ඒ වෙනුවෙන් අපේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ඇගයීමක් තිබිය යුතු යැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා අපි මූලික සංවිධාන කටයුතු ආරම්භ කොට තිබෙනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතු සැලසුම් කරමින් ඉන්නවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී ජනතාව වෙත ගෙනයා යුතු දේශපාලන පණිවුඩය කුමක්ද කියලා අපි සාකච්ඡා කරමින් ඉන්නවා.

රාජපක්ෂ කණ්ඩායම එම මැතිවරණ සම්බන්ධයෙන් විටෙක කෙඳිරිලි හඬ නැඟුවා. අදෝනා හඬ නැඟුවා. ගර්ජන කළා. අසත්‍ය පැතිරුවා. ඒ සියල්ල පැවැතුණේ සති දෙකක පමණ කාලයකටයි. ඒ සියල්ල නිහඬ කරමින් අපේ ප්‍රයත්න සාර්ථකවෙලා තියෙනවා. නිසි පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වා ගැනීමට ඉඩ විවර වෙලා තිබෙනවා. ඒ අරගලය සම්බන්ධයෙන් අපිට සතුටක් තිබෙනවා. අපේ දායකත්වය මත ජනතාවට සාධාරණ ඡන්දයක් ලබාදීමට හැකිවුණා. ඒ වගේම පළාත් පාලන ඇමැතිවරයා මෙම කාර්යයේදී නම්‍යශීලීව කටයුතු කළා. ඒ පිළිබඳ අපිට ඇගයීමක් තිබෙනවා. අපි පළාත් පාලන ඇමැතිවරයාට ස්තුතිවන්ත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here