තැපෑල තවම වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන වාර්තාව කඩලා නැහැ-ජනපති

0
723

කිසිදු රාජ්‍ය චක්‍රලේකයක් මහජන සේවාවන් ප්‍රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
යම් වෘත්තීය සේවාවක විධිමත් භාවයට සහ කාර්යක්ෂමතාවට, යම් චක්‍රලේඛයක් හරස් වී ඇත්නම් එය කඩිනමින් සාකච්ඡා කර විසදා ගත යුතු බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී ඊයේ (09දා) පැවැති ලෝක තැපැල් දින 143 සැමරුම් උත්සවය අමතමිනි.

ලෝක තැපැල් දින 143 වැනි සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද නව මුද්දරය සහ මුල් දින කවරය, එහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර  වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

අධි තාක්ෂණයත් සමඟ තොරතුරු සන්නිවේදනයේ ඉහළම දියුණුවක් තිබෙන අද වැනි යුගයක අධි තාක්ෂණය භාවිත කරමින් පණිවුඩ හුවමාරුවේ කාර්යක්ෂමභාවය තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

මහජන සම්බන්ධතාව, සමීපතාව ඉතාමත් ඉහළ කැපවීමක් තිබෙන සේවාවක්. ඇතැම් වේලාවට ලිපියක් තැපෑලෙන් ආ විට සතුටට පත්වූ අවස්ථා මෙන්ම සමහර තරුණ පිරිස් ලිපිය බලා සිය දිවි නසාගත් වෙලාවල්ද තිබූ බව අපි දන්නවා. තමාගේ තිබෙන ආදර සම්බන්ධතාව මෙතැනින් ඉවරයි කියා ලිපියක් ආ විට බෙල්ලේ වැල දා ගන්නවා, ළිඳට පනිනවා. ඒකටත් එක කොනක සිටින්නේ තැපැල් මහත්මයායි. මේ සෑම දෙයකම යහපත් දේ වගේම අයහපත් දේ තිබෙනවා. නමුත් සියල්ල භාවිත කළ යුත්තේ යහපත් දේ සඳහා යහපත් සුබවාදී මනසකින්.

මට තැපැල්පතිතුමා කිව්වා, අපේ රටේ විවිධ ක්ෂේත්‍ර හරහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න, අවශ්‍ය දැනුම, පණිවුඩ ලබාදෙන්න වර්ෂයකට මිලියන දහනව දාහක් සඳහා මේ සේවාවේ සිටින ඔබ ස්වේච්ඡාවෙන් කටයුතු කරන බව. සේවා ගාස්තුවක් නොමැතිව මිලියන දහනව දාහකට වසරකට ඔබ හරහා යන පණිවුඩය අඩු ආදායම්ලාභී පවුල්වලට රජයෙන් ලැබෙන විවිධ යැපීම්, දීමනා සඳහා කටයුතු කිරීමේදී ඒ සඳහා ඔබ දක්වන සහයෝගය අපි ඉතාමත් අගය කරන්න ඕනෑ.

එය තමාගේ ආයතනික වශයෙන්, සේවාවන් වශයෙන් ඉන් බාහිරව පෞද්ගලිකවත් බොහෝ අයට තමාගේ ජීවිතයට සම්බන්ධ වන විශිෂ්ට අවස්ථාවක් ලෙස තැපැල් සමරු මුද්දර නිකුත් කිරීම හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳවත් යම් යම් ගැටලු සහ ප්‍රශ්න තිබෙනවා. පසුගිය කාලවලදී තැපැල්පතිතුමා සහ මම දුරකතනයෙන් කතා කළ වේලාවන්වලදී පාසල්වල අවුරුදු සියය, අවුරුදු එකසිය පනහ පිරීම වැනි අවස්ථාවලදී යම්කිසි ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතුවුණා. පසුගිය දවස්වල සමහර පාසල්වල විදුහල්පතිවරු මට කතා කළා තැපැල් මුද්දරය නිකුත් කිරීම පිළිබඳව. මම කිව්වා, මට අයිති නැහැ මෙය. තැපැල්පතිතුමාගෙන් අහන්න. මම ඕවා නවත්වලා නැහැ. ඒ තිබෙන චක්‍රලේඛ අනුව කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ කියා. විවිධ සේවාවන්වල තත්ත්වයන් ගත්විට තැපැල්පතිතුමා කිව්වා, තැපැල් දෙපාර්තමේන්තුව හරහා තිබෙන යම් යම් ගැටලු සහ ප්‍රශ්න සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ කටයුතු කිරීමේදී එන යෝජනා අදහස් සමඟ ඇතැම් චක්‍රලේඛ හරස්වීම තුළ චක්‍රලේඛවල තිබෙන කරුණු මුල් කරගෙන යම් යම් කාර්යයන් පිළිබඳව තිබෙන ගැටලු පිළිබඳව. ඒ නිසා ඇමැතිතුමාගෙන්, අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු තැපැල්පතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා එහි තිබෙන ගැටලු මට ඉදිරිපත් කරන්න ලබන සතියේ. මම සූදානම් ඔබ සමඟ සාකච්ඡා කරලා එම ගැටලු නිරාකරණය කර ගන්න.

තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ වෘත්තීය සමිති විදිහට වැඩවර්ජනවලටත් බොහෝම ප්‍රසිද්ධයි. වෛද්‍යවරුන්ගේ වාර්තාව තවම කඩා නැහැ. ඒ නිසා එම තරගකාරීත්වය ගැනද සිතා අඩුවෙන් වර්ජනය කරලා වැඩියෙන් වැඩ කරලා ප්‍රශ්න විසදා ගන්න. සුහදව සහ මිත්‍රශීලීව සාකච්ඡා කරලා කටයුතු කරමු කියා මා ඉල්ලා සිටිනවා. ඕනෑම වෘත්තීය ක්ෂේත්‍රයක තිබෙන්නාවූ වෘත්තීයමය ගැටලු සේවාමය ගැටලු අපිට සාකච්ඡා මඟින් විසදා ගැනීමට හැකියාව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here