‘ජනපති සහ අගමැති කියූ පමණින් විශ්වාස කරන්න එපා විමසා බලන්න’

0
538

පූජනීය මල්වත්තේ මහ නායක හාමුදුරුවන්ට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශ්වාස නිසා නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් නෑ කියලා ප්‍රකාශ කර තිබුණා. එහෙත් අපේ මහ නායක හාමුදුරුවන්ගේ දේශනාව බුදු හාමුදුරුවන්ගේ දේශනාවට පටහැනිය. බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරනවා තමන්ගේ මවුපියන් කියූ පමණින් හෝ ගුරුවරුන් ඉගැන්වූ පමණින් විශ්වාස නොකරන ලෙසත්, තර්කයට බුද්ධියට ගැළපේ නම් පමණක් විශ්වාස කරන්න කියලා.

බුදුන් වහන්සේ අද වැඩ සිටියා නම් අනිවාර්යයෙන්ම කාලාම සූත්‍රය සංශෝධනය කරලා ‘ජනපති සහ අගමැති කියූ පමණින් විශ්වාස කරන්න එපා විමසා බලන්න’ කියා යෙදුමක් එකතු කරනවා. අපේ මහ නායක හාමුදුරුවන් ජනපති විශ්වාස කරලා ව්‍යවස්ථා යෝජනාවෙන් බුදු දහමට හානියක් නැතැයි පැවැසුවත් ජනපතිතුමා නම් කියන්නේ මම නම් තවම ඕක කියවලා නෑ කියලා. ඒ නිසා ජනපතිතුමාව විශ්වාස කළොත් අපේ මහ නායක හිමියන් අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා. ඔබ වහන්සේගේ ගෞරවය රැක දීමට, සත්‍ය පහදා දීමට අපට අයිතියක් තියෙනවා යැයි නීතිඥ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.

මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ ඊයේ (9දා) පිවිතුරු හෙළ උරුමය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජනපතිතුමා මේ ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් වෙනවාද කියා අහන්නේ කාගෙන්ද? ආගම රාජ්‍යයෙන් වෙන් කළ යුතුයි කියා විශ්වාස කරන වික්‍රමරත්න මන්ත්‍රිතුමාගෙන්. මෙවැනි අවස්ථාවලට කියන්නේ දී කිරට බළල්ලුත් සාක්ෂි කියලයි. ජයම්පති මන්ත්‍රිතුමා කියන්නෙ එතුමාට වාමාංශිකයකු හැටියට ආගමික රාජ්‍යයන් සඳහා එකඟ වෙන්න බෑ කියලා. නමුත් එතුමා දන්නෙ නෑ. බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමේ වගන්තිය ව්‍යවස්ථාවට එකතු කළේ ලංකා ඉතිහාසයේ බිහි වුණු කීර්තිමත්ම වාමාංශිකයකු වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා. 1972 ව්‍යවස්ථාව පිළිබඳ විවාදයේ දී එතුමා ඉතාම අපූරුවට බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුත්තේ ඇයි කියන එක පැහැදිලි කරනවා. ඒ විවාදය කියවන්න කියලා මම ජයම්පති මන්ත්‍රිතුමාට ආරාධනා කරනවා.

‘පුදන කොටම කාපි යකා’ කියලා නව ව්‍යවස්ථාව පිළිබඳ අතුරු වාර්තාව පටන් ගන්නේම ටොම් පචයකින්. පළමු පිටුවේම කියනවා ඒකීය රාජ්‍යයේ ඉංග්‍රීසි යෙදුම වන ‘යුනිටරි ස්ටේට්’ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිත කිරීම සුදුසු නොවන බව.

ඒකීය රාජ්‍යය කියන එකේ සිංහල අරුත ගත්තොත් එක රටක් මිස, එක ආණ්ඩුවක් නොවේ. ෆෙඩරල් රාජ්‍යයක එක රටක් තුළ ආණ්ඩු ගොඩක් තිබෙන්න පුළුවන්. නමුත් දෙමළෙන් යොදා ගෙන තිබුණේ නිවැරැදි වචනය. ‘ඔට්රියච්චි’ කියන වචනය ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසන විට ජයම්පති වික්‍රමරත්න මැතිතුමා කියන්නෙ එක ආණ්ඩුවක් නිසා ඒක ඒකීය රාජ්‍යයට ගැළපෙන්නෙ නෑ කියලා.

යුනිටරි ස්ටේට් කියන යෙදුම පිළිබඳ ලංකාවේ ශේෂ්ඨාධිකරණය ඇතුළු ලෝකයම පිළිගත් නිර්වචන ලබා දී තිබෙන්නෙ කීර්තිමත් නීති විශාරදයෙක් වන ශ්‍රීමත් කෙනත් වෙයරේ. එතුමාට අනුව රටේ සෑම ප්‍රදේශයකටම සෑම විෂයක් සම්බන්ධයෙන්ම නීති පැනවීමේ බලය මධ්‍යම ආණ්ඩුවට තිබේ නම් එය ඒකීය රාජ්‍යයක්. එහෙම නම් ඒකීය රාජ්‍යය හැඳින්වීමට හොඳම දෙමළ වචනය වන ඔට්රියච්චි තිබියදී ඉතාම කුමන්ත්‍රණකාරී ලෙස ෆෙඩරල් අර්ථය දෙන ඔරුමිත්ත නාඩු භාවිත කර තිබෙනවා.

ජයම්පති වික්‍රමරත්න මැතිතුමා කතා කරන විට ජනතාවට හිතෙන්න පුළුවන් එතුමා කියන දේ හරි කියලා. මම කතා කරන විට හිතෙන්නේ මම කියන දේ හරියි කියලා. දෙදෙනා එකම තැන සිට විවාද කළොත් තමයි කවුද ඇත්ත කියන්නෙ කියන එක ජනතාවට අවබෝධ වෙන්නෙ. ඒ නිසා පාළු ගෙයි වළං බිඳින්නේ නැතිව විවාදයකට එන්න කියලා ජයම්පති මන්ත්‍රිතුමාට මම නැවත වතාවක් ආරාධනා කරනවා.

මෙහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගම්මන්පිල මෙසේ කීය, සරත් ෆොන්සේකා මහතා බුදු දහම ගැනත් සංඝයා වහන්සේලා ගැනත් දන්නවා වගේ කතා කිරීමට යෑමෙන් එතුමාගේ නොදන්නාකම රට ඉදිරියේ පෙන්නුම් කරන බවත් හම්බන්තොට සිදුවීමේදී පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස මැතිවරණයකට පෙර අත්අඩංගුවට ගැනීමට සැරැසෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here