හිටපු කෘෂිකර්ම ඇමැතිවරයාට වගා සංග්‍රාම මතක් වී ඇත්තේ හාල් කිලෝව රුපියල් සීය වුණාට පස්සේ

0
627

හිටපු කෘෂිකර්ම ඇමැතිවරයාට වගා සංග්‍රාම මතක් වී ඇත්තේ හාල් කිලෝව රුපියල් සීයටත්, පොල් ගෙඩිය රුපියල් එකසිය පනහටත් ගොස් ජනතාවට එදා වේල කන්නත් නැති වූ පසු බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

බලයට පත්ව වසර දෙකහමාරක් යනතුරුම ගොවියාත් ගොවිතැනත් අමතක කර දමා රටේ කෘෂිකර්මාන්තය වළපල්ලට යැවූ ආණ්ඩුව දැන් ව්‍යාජ වගා සංග්‍රාමයක් ඇති කරමින් ජනතාව නැවත වරක් ගොනාට ඇන්දවීමට උත්සාහ දරමින් සිටින බවත් අමුණුගම මහතා පෙන්වා දුන්නේය.

දිලුම් අමුණුගම මහතා මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ – උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (07දා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් තරුණ සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

මන්ත්‍රිවරයා තවදුරටත් එහිදී මෙසේද පැවැසීය.
වෙනස කියන වචනය භාවිත කළෙත් තරුණයන් ඉලක්ක කරගෙනයි. අද රටේ තරුණ තරුණියන්ගෙන් බහුතරයක් ඉපදුණෙත් අපේ පාලන කාලයෙයි. ඒ නිසා ඒ අය හැමදාම දැක්කෙ අපේ ආණ්ඩු. ඒ අයට බලාපොරොත්තුවක් දුන්නා මොක්ක හරි වෙනසක් කරමු කියලා. තරුණයන්ගේ ඡන්ද ටික පෙට්ටියට දාගැනීම තමයි මේ අයගෙ අරමුණ වුණේ.
ජනතා විමුක්ති පෙරමුණ වුණත් සයිටම් එකට විරුද්ධව වැඩකරන්නේ ඇත්තටම සයිටම් විරෝධී නිසා ද එහෙමත් නැත්නම් සයිටම් විරෝධී ඡන්ද ටික එකතු කර ගැනීමේ අරමුණෙන්ද කියන එක අපි කල්පනා කළ යුතුයි. පසුගිය දවස්වල පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි කරන්න කියලා. පනත ගෙනාව ගමන් තියන්න තිබුණු පළාත් සභා මැතිවරණයත් කල් ගියා.

බොරුවට සයිටම් එකට විරුද්ධව ආණ්ඩුව ගෙදර යා යුතුයි කියන ජනතා විමුක්ති පෙරමුණත් මේ පනතට පක්ෂව ඡන්දය දුන්නා.ඉතිහාසය ගත්තම ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, එල්.ටී.ටී.ඊ. කියන මේ කොයි කවුරුත් තරුණයන් ඝාතනය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණයි තරුණයන් ඝාතනය නොකළ එකම පක්ෂය.

මහින්ද මහත්තයා බටහිරට අවනත නොවූ නිසා තමයි මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ. ජනාධිපතිවරණයේදී සුළු ගණනකින් මහින්ද මහත්තයා පරාජයට පත් වුණා.
මහින්ද මහත්තයා ගෙදර ගියේ නැවත දේශපාලනයට එන්න නෙවෙයි. ගම්වල මිනිස්සු බස් අරගෙන මහින්ද මහත්තයා බලන්න ගියා. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන ප්‍රසන්න මහත්තයලා අපි එකතු වෙලා තීන්දුවක් ගත්තා. ඊළඟ මහ මැතිවරණය ජයග්‍රහණය කරන්න නම් මහින්ද මහත්තයා ආයෙත් දේශපාලනයට ගෙන්න එන්න ඕනේ කියලා.

ඒ සඳහා තමයි මහින්ද සුළඟ ආරම්භ කළේ.ඒ දිහා බලාගෙන අන්ධයෝ වගේ ඉන්නද අපිට කියන්නේ? 2020දී රනිල් ජනාධිපති වෙනකම් උඩ බලන් ඉන්නද අපට කියන්නේ? ඒක කරන්න අපට පුළුවන් කමක් නැහැ. ඉතිහාසයේ තිබ්බ සියලු දේ අද වෙනස් කරමින් යනවා.

නිදහස් පක්ෂය එපා කියලා අලියට ගැහුවත් අලියා එපා කියලා නිදහස් පක්ෂයට ගැහුවත්, සීනුවට ගැහුවත්, දෙමළ සන්ධානයට ගැහුවත්, මුස්ලිම් කොංග්‍රසයට ගැහුවත් ඒ හැම ඡන්දයක්ම යන්නේ ආණ්ඩුවට. ඡන්ද පත්‍රිකාවේ මොන ලකුණට ගැහුවත් වැටෙන්නේ ආණ්ඩුවට.එතකොට ආණ්ඩුව ගෙදර යවන්නේ කොහොමද? ආණ්ඩුව ගෙදර යවන ලකුණ මේ වෙනකොට ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කරලා තියෙනවා. ඒ තමයි පොදුජන පෙරමුණේ නෙළුම් පොහොට්ටුව. මේ ආණ්ඩුව ගෙදර යවන ලකුණ තමයි නෙළුම් පොහොට්ටුව.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here