මහින්දට, චන්ද්‍රිකාට වවන්න එන්නැයි දුමින්දගෙන් ආරාධනා

0
513

ඇමරිකාව ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් පාලනය කළ රාජ්‍ය නායක නායිකාවන් විශ්‍රාම ගිය පසු නැවත බලයක් ගැන නොසිතා ගියේ කුඹුරට හෝ තම ගොවි පොළටයි. ඒ නිසා අප රටේ සිටින හිටපු රාජ්‍ය නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ විශ්‍රාම ජීවිතය වගා කටයුතු වෙනුවෙන් යොදවා ‍වත්මන් ජනාධිපතිතුමා රටේ අටු කොටු පිරවීමට දියත් කළ වගා සංග්‍රාමයට දායකත්වය දී මෙම වැඩ සටහනට ආශීර්වාද කරන ලෙස ඉල්ලා සිටින බව කෘෂි කර්ම ඇමති සහ ශ්‍රී ල.නි.ප. ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසිය.

ඒ මහතා එසේ පැවසුවේ වගා සංග්‍රාමය යටතේ බස්නාහිර පළාත් කෘෂි කර්ම අමාත්‍යංශය හෝමාගම නියදගල පුවක්ගහකුඹුර මහ වෙල් යායේ කුඹුරු අක්කර තිහක් යලි අස්වැද්දීම ආරම්භ කළ අවස්ථාවේ දීය. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති දිසානායක මහතා,

“අප රටේ ඉතිහාසය ගැන බලවිට කෘෂි කර්මාන්තය නගා සිටු විමට විවිධ ව්‍යාපෘති සහ වැඩ සටහන් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒවා සාර්ථක ද අසාර්ථක රටේ ගොවි ජනතාව දන්නවා. අතීතයේ අපට සිදු වු ඇතැම් ස්භාවික විපත් සහ සිදු කළ විවිධ වැඩ සටහන් දෙස බලා රටේ කෘෂි කර්මාන්තය නංවාලීමට ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තුල විශාල අවබෝධයක් ඇති නිසා රටපුරා වගා සංග්‍රාමය ආරම්භ කළා.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඉහල සිට පහල සේවකයින් විසි හත් දහසක් සිටිනවා. එම සියලු සේවකයින්ට තම ගෙවත්තේ ගෙවතු වගාවක් ආරම්භ කළ යුතු බවට දන්වා සිටියා. මීට අමතර රටපුරා ගෙවතු වගා කරුවන් ලක්ෂ පහක් සිටිනවා. එම පිරිසට අවශ්‍ය පොල් පැල, එළවළු පලතුරු පැල සහ උපදෙස් සේවාව ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මීට අමතරව සෑම පාසැලකම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා තිබෙන හිස් භූමිවල වගා කරන්නට කියලා එයට දිය හැකි සියලු පහසුකම් අප ලබා දෙනවා. මෙම වැඩ සටහනට සියලු ආගමික ස්ථාන වලින් ද ඉල්ලා සිටිනවා දායකත්වය ලබා දෙන්න අපට දිය හැකි සියලු පහසුකම් ලබා දෙනවා. මෙම වැඩ සටහනට අපගේ විශ්‍රාමික මහත්ම මහත්මීන් දායක කර ගැනීමට වෙනමම ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා, වගා කිරීමට ආශාවක් දක්වන අයට පැල වර්ග පමණක් නොව තමන්ට ශාරීරික වශයෙන් ශක්තිය අඩු මට්ටමක පවතින්නේ නම් එයට ශ්‍රමය ද නොමිලේ ලබා දීමට පියර ගන්නවා. පක්ෂ පාට ජාති සහ ආගම් භේදයකින් තොරව සියලු දෙනා එකතු වි මෙම වැඩ සටහන සාර්ථක කර ගැනිමට දායක වන ලෙස ඉල්ලා සිටිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here