වැටිච්ච අමාරුවෙන් ගොඩ එන්න අමාරු බව දැන් දැන් දැනෙන්න අරන්

0
803

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම් පිට පැමිණ ඔබ පැවැත්වූ පළමු වැනි බැඳුම්කර වෙන්දේසියේදීම ඔබගේ බෑනාගේ සාක්කුවට රුපියල් කෝටි ගණනක ලාභ ලැබෙන විදියට වෙන්දේසියේ සියලු රහස් ඔබ විසින්ම නොදුන්නා නම් ඔහුට ඒවා ලැබුණේ කෙලෙසකදැයි වැඩබලන සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඊයේ (02දා) විමසා සිටියේය.

‘ඒ ගැන මං කියන්න දන්නේ නෑ’ යන්න එයට හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් ලැබුණු පිළිතුර විය.
කොමිසමේ නියමය අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා ඊයේ දෙවැනි දිනයටත් කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ සිටි අතර වැඩබලන සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු විසින් ඉතා වැදගත් කරුණු කිහිපයක්ම කොමිසම හමුවේ හෙළිකරනු ලැබීය.
අගමැති රනිල් වික්‍රමසිංහ හා තමා අතර 1989 සිටම සමීප සම්බන්ධතාවක් තිබුණු බවද 2015 ආණ්ඩුව පිහිටුවූ සැණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කර ගන්නා බව ඔහු තමාට කලින්ම ප්‍රකාශ කර තිබූ බවද කී ඔහු මේ බැව් රවි කරුණානායක, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන්ද, අග්‍රාමාත්‍ය ලේකම් සමන්සිරි යන අයද කලින්ම දැන සිටි බවද කියා සිටියේය.

2015 පෙබරවාරි 24 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම් පද්මා සිරිවර්ධන විසින් එදින පැවැති ආර්ථික කටයුතු පිළිබඳව අමාත්‍ය අනුකාරක සභා රැස්වීමක් ගැන තමාට දන්වා සිටි බවද තවත් විටෙක ‘රවි කරු වන්’ යන විද්‍යුත් තැපෑල ඔස්සේද තමාට එම රැස්වීම ගැන ඇමතුමක් ලැබුණු බවද ඔහු කියා සිටියේය.

එම රැස්වීම පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය නිල නිවෙසේදී බවද ඔහු පිළිගත්තේය.
කෙසේ වෙතත් තමා කොමිසම හමුවේ දිගින් දිගටම දිවුරුම්පිට ප්‍රකාශ කළ පරිදි රජයට 2015 පෙබරවාරි අග වනවිට රුපියල් බිලියන 75කවත්, බිලියන 15කවත් හදිසි මුදල් රැස්කිරීමේ අවශ්‍යතාවක් පැවැතියේ නැති බව මේ වනවිට කොමිසම හමුවේ අනාවරණය වී ඇති බැවින් තමා ‘පට්ටපල් බොරු’ ප්‍රකාශ කරන ‘නින්දිත බොරුකාරයකු’ බවට මා යෝජනා කරනවා යැයි මෙහිදී වැඩබලන සොලිසිටර් ජනරාල් ලිවේරා මහතා සාක්ෂිකරුට කියා සිටියේය.
එදා සාක්ෂියේදී මුදල් ඇමැති රවි කරුණානායකගේ දින රහිත ලියුමක් ඉදිරිපත් කරමින් රුපියල් බිලියන 75ක හදිසි මුදල් රැස් කිරීමක අවශ්‍යතාවක් රජයට තිබූ බවත් ඔබ, අද සාක්ෂියේදී එය රුපියල් බිලියන 15ක් වශයෙන් නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ කලින් කියන ලද බොරුව ඔප්පු කරගන්න බැරි වූ නිසා තවත් බොරුවක් හැටියට යැයිද ලිවේරා මහතා සාක්ෂිකාර මහේන්ද්‍රන්ට යෝජනා කර සිටියේය.

හැම එකටම ‘අගමැති කිව්වා’ යනුවෙන් ඔබ ප්‍රකාශ කරන්නේද වැටිච්ච අමාරුවෙන් ගොඩ එන්න ටිකක් අමාරු බව දැන් දැන් දැනෙණ නිසාදැයි ද ලිවේරා මහතා සාක්ෂිකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here