කාලය මැවූ වෙනසක අරුමේ

0
420

බුදු දහමටත් ඒකීයභාවයටත් තිබෙන ප්‍රමුඛස්ථානයට අත නොතබන බව කියන්නේ නම් එම වගන්ති වෙනස් කළ යුතු නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේදී ඊයේ (2දා) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.
නව ව්‍යවස්ථාවෙන් පද පෙරළි කරන්නේ බුදු දහමට ප්‍රමුඛස්ථානය දීමට හෝ ඒකීයභාවය ආරක්ෂා කිරීමට නොවන බවද කීවේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.

ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඉතා වැදගත් කාරණාවක් රටේ අවධානයට යොමු කළා. ඒ තමයි මහ නායක හිමිවරු පෙරමුණේ තබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය රැක ගන්න අපි සටන් කරද්දී රණවක ඇමැතිතුමා කමිටුවට බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන 9 වැනි වගන්තිය හුදු සැරසිල්ලක් පමණක් කියලා. ඔහු දන්නේ නැති වුවත් 9 වැනි වගන්තියෙන් කාරණා 3ක් ඉටු වෙනවා. බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම, බුදු සසුන පෝෂණය කිරීම සහ බුදු සසුන ආරක්ෂිත කිරීම. මූලධර්මවාදී සංවිධාන පාර්ලිමේන්තු පනත් මඟින් සංස්ථාපනය කිරීමට උත්සාහ කළ අවස්ථාවන්හිදී ඒවා නතර කරමින් හිටපු අගවිනිසුරුවරන් වන සරත් එන්. ද සිල්වා සහ ශිරාණි බණ්ඩාරනායකත් තීන්දු ලබා දුන්නෙත් ඔය කියන 9 වැනි වගන්තිය යටතේ. මම ගරු රණවක ඇමැතිතුමාට ආරාධනා කරනවා ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය බුදු දහමට කළ සේවය ව්‍යවස්ථාව දන්නා නීතිඥයකුගෙන් අහගන්න කියලා.

කාදිනල් තුමත්, අබෞද්ධයකු වන මනෝ ගනේෂන් ඇමැතිතුමත් 9 වැනි වගන්තිය රකින්න ඕනෑ කියනවා. බෞද්ධයන් රැක ගැනීමට බිහි කළ ජාතික හෙළ උරුමය ඒක තිබුණත් එකයි නැතත් එකයි හුදු ව්‍යවස්ථාමය සැරසිල්ලක් පමණයි කියනවා. දැන් කියන්න තියෙන්නේ කාලය මැවූ වෙනසක අරුමේ කියලා තමයි.
අතුරු කමිටු වාර්තාවෙන් ඉතාම සූක්ෂ්මව බුදු දහමේ ප්‍රමුඛස්ථානය විනාශ කරලා තිබෙන බව පැහැදිලිව ඔප්පු කළ හැකියි.

කැමැති ආගමක් ඇදහීමේ නිදහස සෑම තැනැත්තකුට ලබා දෙන ගමන් 14 (1)ඊ වගන්තිය මඟින් ප්‍රසිද්ධියේ ආගම ඉගැන්වීමේ නිදහස විදේශිකයන්ට පවා පිරිනමනවා. යාඥා කිරීම් වැනි දේවල් කරන්න මූලධර්මවාදී විදේශිකයන්ට අවස්ථාව ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂාව ලබා දෙනවා.
ඒ කාරණා මත තමයි මහා නායක ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසන කාර්ය සාධක සභාව විදියට බුද්ධාගමට නව ව්‍යවස්ථාවෙන් අනතුරක් වන බව සඳහන් කළේ. ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමා කියු දේවල් බොරුයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය මා හොරෙක් බව කියමින් රූපවාහිනි වැඩසටහනකදී අපහාස කළා. “පචයා” කියලා නම දාපු ඇමැතිවරයෙක්ගෙ ඉගැන්වීම් අනුවයි. එසේ සිදුකළේ. මට සිදුවුණු අපහාසයට කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනු කළා. ඒ අනුව මිලියන 500ක් මට ගෙවන්න කියලා අධිකරණය නියෝග කළා. ඒත් මේ ගෙවීම් ප්‍රමාද කිරීමට ඇය අභියාචනා කොට තිබෙනවා. එහෙත් ඇගේ ඉරණම දැන් තීන්දු වී හමාරයි.

ඒ වගේම නාමල් රාජපක්ෂ නමැති නීතිඥයෙක් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට මට එරෙහිව පැමිණිල්ලක් කොට තිබෙනවා. එම ආයතනය තිබෙන්නේ පොලිස් අභ්‍යන්තර විනය පරීක්ෂණවලට මිසක් මහජනතාවගේ පැමිණිලි භාරගැනීමට නොවෙයි. එහෙත් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරන්නේ චම්පික රණවක ඇමැතිවරයාගේ හතුරන්ට පමණයි. මට සහ ටිරාන් අලස් සහ ගෝඨාභය රාජපක්ෂ යන අයට එරෙහිව පැමිණිලි කිරීමට පෙර විශේෂ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කොට තිබේ දැයි ඔබේ මතකය අවදි කර බලන්න.

මේ පිටුපස ඉන්නෙ කවුද කියලා ඉතා පැහැදිලියි. පාඨලී රණවකත් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් සිල්වත් සමීප මිතුරන් බවට ලිඛිත සාක්ෂි තිබෙනවා. ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලදී ඒවා ඉදිරිපත් කරනවා.

නාමල් රාජපක්ෂ නමැති නීතිඥයා ඉදිරිපත් කළ පැමිණිල්ල තමයි දශකයේ ලොකුම විහිළුව. ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් දෙදෙනකු එකතු වී සමාගමක් ආරම්භ කර ඇති බවත් ඊට ඩොලර් මිලියන 6.5ක දේපළ තිබෙන බවත් කියනවා. ඒ වෛද්‍යවරුන් දෙදෙනා මගේ සමීප මිතුරන් බව කියන අතර උදය ගම්මන්පිල අයථා ලෙස ඉපැයූ මුදල් ඊට ආයෝජනය කර ඇති බවත් කියනවා. ඔය වෛද්‍යවරුන් දෙදෙනා මගේ සමීප මිතුරන් නොවෙයි. මේ අපහාසයට නාමල් රාජපක්ෂට විරුද්ධව රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා නඩු පවරනවා. එය ප්‍රචාරය කරමින් ද්වේෂයෙන් කටයුතු කළ සිරස මාධ්‍ය ජාලයෙනුත් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා නඩු පවරන්නත් බලාපොරොත්තු වෙනවා.

පාඨලී ඇමැතිලා රොහින්ග්‍යා අනාථයෝ ශ්‍රී ලංකාවේ නැහැ කියලා කිව්වා. ඒ අතර තමයි මුස්ලිම් අය හැංගිලා ඉන්නවා කියලා තොරතුරක් ලැබී එම හෙළිදරව්ව සිදුවුණේ. ආණ්ඩුව බොරු කියපු නිසා තමයි මේවා දුරදිග යන්නෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here