ඇලෝසියස්ට කසුන්ට නුවන්ට සචිත්ට රටින් පිටවීම තහනම්

0
650

මහ බැංකුව විසින් නිකුත් කළ බැඳුම්කරවලට අදාළ දුරකතන දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්ෂණ නිලධාරීන් ලෙස කටයුතු කළ නුවන් ඉන්දික සල්ගාදු, සචිත් මධුසංක දේවතන්ත්‍රි යන අයට විදේශ ගමන් තහනමක් පනවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (2දා) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබා දෙනු ලැබිණි.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාල සීමාවේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට නිකුත් කළ මහ බැංකු බැඳුම්කරවලට අදාළ දුරකතන සංවාද දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇති අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්ෂණික නිලධාරීන් වශයෙන් කටයුතු කළ නුවන් ඉන්දික සල්ගාදු, සචිත් මධුසංක දේවතන්ත්‍රි යන දෙදෙනා විසින් දුරකතන සංවාද දත්ත මකා දැමීම සහ භාරයේ තබා ගැනීම සිදුකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

නුවන් සල්ගාදු, මධුසංක දේවතන්ත්‍රි යන දෙදෙනා ලබාදුන් තොරතුරු සමඟ සැසඳීමේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ලබාදී ඇති ප්‍රකාශ පරස්පර බවට තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, නුවන් සල්ගාදු, සචිත් මධුසංක දේවතන්ත්‍රි යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇත.

විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටි අතර විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන තෙක් නඩුව බහා නවතනු ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here