සිය පාලන කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද මහ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී සිය බෑණනුවන්ගේ සමාගමකට අසීමිත ලෙස ලාභ ලැබෙන පරිදි විවිධ අක්‍රමිකතා සිදුකරන ලදැයි යන චෝදනාව යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේදී වැඩබලන සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති විමර්ශන කොමිසමේ නියමය පරිදි කොමිසම හමුවේ ඊයේ (02දා) සාක්ෂි දීමට පැමිණ සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අමතමින් ද ලිවේරා මහතා ඒ බව ප්‍රකාශ කළේය.
තමා ඒ ගැන දැන සිටිනුයේ දැයි කරන ලද විමසුමට පිළිතුරු දෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙතෙක් ඒ පිළිබඳව තමා දැන නොසිටින බවය.
කොමිසම හමුවේ ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළම නිලධාරීන්ගේ සිට විවිධ තරාතිරම්වල නිලධාරීන් හෙළිකොට ඇති තොරතුරු හා කොමිසමේ විමර්ශන අංශය විසින් අනාවරණය කොට ගෙන ඇති ඉතාමත්ම වැදගත් පර්යේෂණාත්මක සාක්ෂි අනුව තමා මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ මාස 18ක තරම් කෙටි කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව තුළ එතෙක් මෙතෙක් සිදුව නොමැති ආකාරයේ බරපතළ වංචනික ක්‍රියාවන් රාශියක් සිදුව ඇති බව සනාථ කෙරෙන බවත්, ඒවා සම්බන්ධයෙන් රහස් පොලිසිය එම පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සාක්ෂිකරුට ප්‍රකාශ කර සිටියේය.