යහපාලන ආණ්ඩුව හරියට මල්වත්තේ සර්පයා වගෙයි

0
644

මේ ආණ්ඩුව හරියට ‘මල්වත්තේ’ සර්පයා වගෙයි’ යහපාලනය කියල ලස්සන සුන්දර පෙනුමක් තියාගෙන ඇවිල්ල රට විනාශ කරන ඉතාම බිහිසුණු පාලනයක් බවට පත්ව තියෙනවා’ යැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා බේරුවලදී කීවේය.
ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව පිළිබඳ පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා පැවැති උත්සවයේදී පියල් නිශාන්ත මහතා මෙසේද කීවේය.
ලේ විලක් බවට පත්ව තිබූ රට ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආදරණීය රණවිරුවන් බේරාදුන් රට යහපාලනය නමින් පෙනී සිටින ‘සර්ප’ ආණ්ඩු පාවා දෙන්න උත්සාහ කරනවා.

නව ව්‍යවස්ථාවක් ගෙනැල්ල වෙනම රාජ්‍යයක් නිර්මාණයට අවශ්‍ය පසුබිම මේ වන විට පාර්ලිමේන්තුවට ගේන්න හදනවා. වෙනම රාජ්‍ය නිර්මාණය කරද්දී සම්බන්ධන්ලා කියපු ෆෙඩරල් ක්‍රමවේදය හඳුන්වා දෙනවා. උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කරල මේ රට අනාගමික රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරනවා.
මේ රට බෙදන්න දෙන්න බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජනතාව එකට ජීවත්වන්න අවශ්‍යයි කියන මතයේ ඉඳගෙන ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරනවා. මේක බෞද්ධ රාජ්‍යයක්. ඒ නිසා ඒක නැති වෙන්න අපි කොහෙත්ම ඉඩ තියන්නෙ නැහැ. මම ජාතිවාදියකු වුණත් ආගම්වාදියකු හෝ අන්තවාදියකු නෙවෙයි.
වර්තමාන පාලකයන්ගේ බල ලෝභය නිසා මේ රටේ භේදභින්න කරල බෙදලා විනාශ කරන තැනකට පත්ව තියෙනවා. මේ යහපාලන ආණ්ඩුවෙ අවසාන කාලය උදා වෙලා තියෙන බව අමතක නොකළ යුතුයි. මේ ආණ්ඩුව මැතිවරණවලට මොනතරම් බයද කියලා පේන්නෙ දවසින් දවස මැතිවරණ කල් දානවා. ඒ නිසා පුළුවන් නම් මැතිවරණ තියන්න කියලා ආණ්ඩුවට අභියෝග කරනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හරියට අරළු අටේ වෙදරාලගේ තත්ත්වයට පත්වෙලා තියෙනවා. මැතිවරණ කොමසාරිස් මේ ආණ්ඩුවට කඩේ යන කෙනකු බවට පත්වෙලා ඉවරයි. ඒක රටේ සමස්ත ජනතාව දන්නවා. මැතිවරණ කොමසාරිස්තුමාටයි, යහපාලන නායකයන්ටයි කියන්නෙ රටේ ඡන්ද දායකයාව අන්දන්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා මැතිවරණය තියන්න කියලා අභියෝග කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධයේ ඉන්න අපි ඕනෑම මැතිවරණයකට ලෑස්තියි. තියන ඕනෑම මැතිවරණයකින් අති විශිෂ්ට ජයක් ලබාගන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here