‘කොළඹට කිරි – ගමට කැකිරි’ අද ඉඩක් නැහැ අද අප පළමුව කිරි ලබා දෙන්නේ ගමටයි.

0
785

මගේ ‘ජනාධිපති තාත්තා’ මට ඉගැන්නුවේ ජනතාවගේ මුදල් සොරා ගන්නට, ගසා කන්නට නෙවෙයි. කාලය, ශ්‍රමය හා සම්පත් කැප කර ජනතාව වෙනුවෙන් උපරිම සේවාව ඉටු කිරීමටයි. ඒ අනුව අප කැපවී සිටින්නේ අවංක සමාජ මෙහෙවරක් ඉටු කිරීමටයි. රටේ දරුවන්ගේ අනාගතය සුරැකීම වෙනුවෙන් අප ඇප කැප වී සිටිනවා. සෑම සම්පතක්ම ඒ වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ජන සමාජය තුළ වෛරය, ක්‍රෝධය හා ඊර්ෂ්‍යාව වපුරමින් ‘කොළඹට කිරි – ගමට කැකිරි’ යැයි කතා පතුරුවා සමාජය තුළ ගැටුම් ඇති කිරීමට අද ඉඩක් නැහැ. මන්ද අද අප පළමුව කිරි ලබා දෙන්නේ ගමටයි.

මීළඟ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එළැඹෙන්නට පෙර මගේ මවු දිස්ත්‍රික්කය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩමක් නොමැති සෑම පවුලකටම ‘උදා ගම්මාන’ සංකල්පය යටතේ ඉඩමක් ලබා දී එහි විදුලිය, ජල සහ මාර්ග පහසුකම් සහිත නිවෙසක් තනාගෙන ජීවත් වන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදීමට දිවි හිමියෙන් කැප වෙනවා. එමෙන්ම පෙර පාසලේ, දහම් පාසලේ, සෞඛ්‍ය මධ්‍යස්ථානයේ, ග්‍රාමීය රෝහලේ සිට පාසල් පද්ධතිය දක්වා දියුණු කිරීමටත්, එම ආයතන ශක්තිමත් කිරීමටත් ප්‍රමුඛතාව හිමිකර දෙනවා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ සූරියවැව ජාතික පාසලට 50 වසරක් පිරීම නිමිත්තෙන් එහි සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය උදෙසා රුපියල් ලක්ෂ 71ක් වටිනා නවීන බස් රථයක් පරිත්‍යාග කිරීම සඳහා පසුගියදා පැවැති උත්සවයේදීය.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

සූරියවැව ජාතික පාසල මෙන්ම මාත් මගේ 50 වැනි උපන් දිනය සැමරුවේ මේ වසරේදියි. සූරියවැව ජාතික පාසල සිය 50 වැනි ජයන්තිය සැමරීම නිමිතිකොට ගෙන එහි ඉගැනුම ලබන 4,000ක් පමණ වන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස රුපියල් ලක්ෂ 71ක් වටිනා නවීන බස් රථයක් පිරිනැමීමට හැකිවීම පිළිබඳ අද මා ඉතා සතුටු වෙනවා. මෙම බස් රථය මිලදී ගැනීම වෙනුවෙන් රජයේ මුදල් වැය කළේ නැහැ. මගේ ඉල්ලීම මත දානපති පරිත්‍යාගශීලීන් ඊට මුදල් පරිත්‍යාග කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මේ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන්නේ ගොවි පවුල්වලට, කම්කරු පවුල්වලට, ධීවර පවුල්වලට අයත් සාමාන්‍ය පන්තියේ දූ දරුවන් බව අප දන්නවා. සූරියවැව ජාතික පාසලට මීට පෙර ලැබී තිබුණේ කුඩම්මාගේ සැලකිල්ලයි. රටේ පාලකයන්ගේත්, දිස්ත්‍රික් දේශපාලන නායකයන්ගේත් අවධානය මේ පාසල වෙත යොමු වුණේ නැහැ. ඔවුන් මේ පාසලේ අවශ්‍යතා අමතක කර දමා සිය පෞද්ගලික වාසි සඳහා වෙනත් මහා පරිමාණ ව්‍යාපෘති දියත් කළා.

ඔබේ අත ඇති මිල මුදල් වෙනත් කෙනකුට මංකොල්ල කන්නට පුළුවන්. නිවාස දේපොළ පවා හොර ඔප්පු සාදා අයිති කර ගන්නට පුළුවන්. ඒත් අපේ දුවා දරුවන් නිදහස් අධ්‍යාපන පද්ධතිය ඔස්සේ ලබන දැනුම හා දුරදක්නා නුවණ කිසිවකුටත් මංකොල්ල කන්නට බැහැ. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ සංකල්පය අනුව අධ්‍යාපනය නොමිලයේ ලබා දී රට පුරා උගතුන්, බුද්ධිමතුන් බිහි කිරීමේ සංග්‍රාමයේ රජයක් හැටියට අප නිරතව සිටිනවා. ‘ළඟම පාසල – හොඳම පාසල’ සංකල්පය ක්‍රියාත්මක කරන්නේ දූ දරුවන්ගේ දැනුම වර්ධනය කරන්නටයි. අප කලක් ඇසූ ‘කොළඹට කිරි – ගමට කැකිරි’ සංකල්පය නිසා අපේ රටේ මහා ව්‍යසන දෙකක් ඇති වුණා. එසේ වුණේ පැවැති සමාජ අසාධාරණය නිසයි.

අප පාලකයන් ලෙස කටයුතු කළ යුත්තේ ඔබේ අවශ්‍යතා ඉටු කිරීමටද, ඔබේ දුවා දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමටද, නොඑසේ නම් අපේ සාක්කු පිරෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද? අප මේ පාසලේ පිහිනුම් තටාකයක් ඉදි කරන්නේ පාලකයන්ගේ දූ දරුවන්ට පැමිණ පිහිනීමට නොව, මේ ප්‍රදේශයේ දුප්පත් මවුපියන්ගේද දූ දරුවන්ට පරිහරණය කිරීමටයි. මේ සංවර්ධන කටයුතු ඉටු කළ යුතුව තිබුණේ මීට අවරුදු ගණනාවකට පෙරයි. එහෙත් එය සිදු වී නැහැ.

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට වැය කළ රුපියල් ලක්ෂ 42,000ක මුදල් සම්භාරය මේ කලාපයේ ග්‍රාම නිලධාරි වසම් 21 තුළ ඇති පාසල් පද්ධතියේ අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් වැය කළා නම් කොතරම් වටිනා ප්‍රතිඵල අත්පත් කර ගන්නාට තිබුණාද? හැම පාසලකටම පිහිනුම් තටාක, අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර, භාෂා විද්‍යාගාර, රංග ශාලා ඉදිකර දිය හැකිව තිබුණා. එදත් අදත් අතර ඇති ‘වෙනස’ එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here