අද සීනුව වදින්නේ අලියා හොඬවැල හොලවන ආකාරයටයි

0
597

ජනතා විමුක්ති පෙරමුණ දැන් කියනවා අපි සීනුවෙන් නෙවෙයි වෙනත් ලකුණකින් ඇවිත් 2020 දී මේ රටේ බලය අල්ලනවා කියලා. 2020 ගැන සිහින මවනවට වඩා අද හිතන්නකො ජවිපෙ සීනුව අද කොහෙද තියෙන්නෙ කියලා. අද සීනුව තියෙන්නෙ අලියගෙ බඩ යට. අද සීනුව වදින්නේ අලියා හොඬවැල හොලවන ආකාරයටයි.” යනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා පැවැසුවේය.
මහව-දිගනදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රිවරයා එසේ පැවැසුවේය.
මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“ජනවාරි අට වෙනසක් කරන්න උත්සාහ ගත් ජවිපෙ දැන් කරන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ කුණු හෝදන එකයි. වරප්‍රසාදවලට වරදානවලට මුවාවෙලා මුළු රටම පාවාදීලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය අරගෙන එජාපයට මුක්කු ගහන අයත් කරන්නෙ එම පාවාදීමම තමයි.

අපේ දිස්ත්‍රික්කයේ කෙනා මේ යහපාලන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති වෙලා ගත්ත පළමු තීරණය තමයි හෙක්ටයාර් ලක්ෂයක වී ගොවිතැන නතර කිරීම. අක්කර 2,50,000ක ගොවියො කුඹුරු වගා කරන්න ආශාවෙන් හිටියෙ. ඒත් වතුර ටික දුන්නෙ නෑ. පොහොර ටික දුන්නෙ නෑ. සහනාධාර ඔක්කොම කප්පාදු කළා. රුපියල් 50ට වී ටික මිලදීගෙන කිලෝ එක රුපියල් 24 ගාණෙ හැරිසන් ඇමැතියා සත්ත්ව ආහාරවලට දුන්නා. එහෙම වුණහම රටේ සහල් තියෙයිද? මේ රට සහලින් ස්වයංපෝෂිත කරලයි මහින්ද මහත්තයා රට භාර දුන්නෙ. සෝයාවලින්, බඩඉරිඟුවලින්, උඳු, තලවලින් ස්වයංපෝෂිතයි එදා. ඒ නිසා තමයි ජනතාව කාටවත් අතනොපා ජීවත් වුණේ.
පළමුවැනි සාපය රටට ගැහුවෙ මහින්ද මහත්තයා හදපු ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමෙන්. සහලින් ස්වයංපෝෂිත රටේ එතුමාට කනට ගහන්න වගේ තමයි ඒ වැඩේ කළේ. ඒ සාපය තමයි මේ රටට වැදුණෙ. දෙවියොත් මේවට කෝපවෙලා. වැහි ඕන දවසට වැස්ස නෑ. රටේම සියයට දහයයි වී ගොවිතැන වෙලා තියෙන්නෙ. අපේ පළාතේ කරපු වී ටිකත් වැස්ස නිසා බිමටම වැටිලා. පැත්තකට ජලය වැඩිවෙලා හානි. තව කොටසකට ජලය නැතිව හානි.

ජනතාව තමයි බස්වලින් ගිහිල්ලා අනේ මහින්ද ජනපතිතුමනි, මේ යහපාලනය එළවලා අපට නැවත හොඳ පාලනයක් ලබාදෙන්න කියලා ඉල්ලුවේ. ඒ සාමාජික ඉල්ලීම මතම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ. ගමේ ජනතාව පක්ෂ භේදයෙන් තොරව අප සමඟ එක්වෙද්දී අද ආණ්ඩුව ගහ ගන්නවා. ශ්‍රීලනිප ඇමැතිවරු එජාප ඇමැතිවරුන්ට බනිනවා. එජාප ඇමැතිවරු ශ්‍රීලනිප ඇමැතිවරුන්ට බනිනවා. එකම පක්ෂයේ අයත් ඒ පක්ෂයේම අයට බනිනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳීම පසෙක තබා අද ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ ආණ්ඩුව ඇතුළෙ ප්‍රශ්න විසඳගන්නයි. තමන්ගෙ මන්ත්‍රිවරුන්ට ඇමැතිවරුන්ට තමන්ගෙ පක්ෂයෙන්ම විශ්වාසභංග, විරෝධතා එල්ල වෙනවා. මීට පෙර දැකලා තිබෙනවාද?. මේ ආණ්ඩුවෙන් අද ජනතා බලය දවසින් දවස ගිලිහෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් මේ ජනපති මොකද අපට කිව්වේ. 19ට ඡන්දෙ දෙන්න කිව්වා. 20 වැනි සංශෝධනය ගෙනැත් ආසන මට්ටමට ඡන්දෙ ගෙනියනවා කියලා පොරොන්දු වුණා. අපි ඒ නිසාම 19ට ඡන්දෙ දුන්නා. එදා අපට කීවා නම් 20 වැනි සංශෝධනයෙන් කරන්නෙ මැතිවරණ සිතියම හකුලන එක කියලා අපි කවමදාකවත් 19ට ඡන්දෙ දෙන්නෙ නෑ. අපට 20 පෙන්නලා 19 අනුමත කරගත්තා. කියන දේ නොකරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව අද පත්වෙලා හමාරයි. පුළුවන් නම් 20 පාර්ලිමේන්තුවට ගේන්න. ඒ ගේන පළමුවෙනි පැය තුළ අපි උසාවි ගිහින් ඒක නවත්වනවා. මේ රට රැකගන්න එකම නායකයයි මේ රටේ ඉන්නෙ. ඒ මහින්ද මහත්තයා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here