පාර්ලිමේන්තු ආක්‍රමණයකට කාලය හරි

0
513

රටේ වගකිවයුතු පුරවැසියන් පාර්ලිමේන්තුව ආක්‍රමණය කළ යුතු කාලය පැමිණ ඇති බවත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 රටේ ප්‍රශ්න ගැන කතා කිරීමට සුදුසු නැති බවත් මාතර දිස්ත්‍රික් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

මාතරදී ඊයේ (27) පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

එහිදී  මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.

“කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට මේ දිනවල විශේෂ මැදිහත්වීමක් කරනවා අපේ රටේ විශ්වවිද්‍යාල පාර්ලිමේන්තුවට කැඳවන්න.දැනට විශ්වවිද්‍යාල ගණනාවක් කැදෙව්වා.විශ්වවිද්‍යාලවල කටයුතු විමර්ශනය කිරීම කෝප් කමිටුවේ කාර්යභාරයක්.ඒ වගේම ඒ විමර්ශනය කරලා ඉවර වෙලා අවසානයේ මම අහනවා උපකුලපතිවරුන්ගෙන්, පීඨාධිපතිවරුන්ගෙන්, මහාචාර්යවරුන්ගෙන් ප්‍රශ්න කීපයක්.අපේ රටේ තියෙන කුණු කඳු කඩාගෙන වැටෙන එකට මොකක්ද ඔබලා ගාව තියෙන විසදුම? මාර්ග තදබදයට තියෙන විසදුම කුමක්ද? මේ අක්‍රමවත් සංවර්ධනයට, වකුගඩු රෝගයට විසදුම් මොනවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, අපේ රටේ තියෙන වංචාව, දුෂණයට මොකක්ද ඔබලා ගාව තියෙන විසදුම කියලා මම අහනවා.මේවා කාටවත් උත්තර නැති ප්‍රශ්න.විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්යවරුන් කල්පනා කරනවා.මෙහෙම ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනද කියලා.”

“අපේ රටේ මේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා සුදුසු නැහැ.මොකද ඒ 225 දෙනාගේ බහුතරයක් දෙනා අපේ රටේ සිදුවෙන ආර්ථික මංකොල්ලයේ චූදිතයින්.ඒ නිසා විශ්වවිද්‍යාල සිසූන් හා ආචාර්යවරුන්ගේ වගකීම පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමයි.එවැනි සමාජ පරිවර්තනයක් ගැන කියැවෙන අරගලයක් කළ යුතුව තියෙනවා.නැති නම් මේක ගොඩ ගන්න බැහැ.”යැයිද ඒ මහතා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here