බොරුවෙන් රජ වෙන්න හදන යහපාලනය

0
715

අද ආණ්ඩුව බොරුවෙන් හිතුවක්කාර ලෙස රට පාලනය කරනවා. ජනතාව අමුතු වෙනසක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඡන්දය ලබා දුන්නා. දැන් ජනතාවට අමුතු වෙනස පෙනෙන්නට තිබෙනවා යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ සඳහන් කළේ පොදු ජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 23 වැනි දින සවස උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීය.
එහිදී උන්වහන්සේ මෙසේද කීය.

මේ අය ගෙන යන්නේ හිතුවක්කාර පාලනයක්. ඒ ආකාරයට හිතුවක්කාර පාලනයක් ගෙන යනවා නම් ඔබතුමාලා වැනි අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ නැහැනේ. මේ අය බොරුවෙන් රජ වෙන්නයි හදන්නේ. අන්තිමට ඒ අය දන්නෙත් නැහැ ඒ අයට මොකද වෙන්නේ කියලා. අද පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරන්නේ විශේෂ ක්‍රමයකටයි. පළමුවෙන් කලබලයක් කාලගෝට්ටියක් ඇති කරනවා. ඊට පසුව කතානායක කියනවා හරි හරි පනත සම්මතයි කියලා. මේ ආකාරයේ මෝඩ රැළක් එක්ක නේද අප මේ රටක් කරන්න හදන්නේ. මේකෙ කිසිම සාධාරණයක් නැහැ. මේක රටටම මහා අවාසනාවන්ත තත්වයක්. උතුරේ අය හදන්නේ ඒ අයගේ පළාත වෙන් කරගන්නයි. මේ සියල්ල කරන්නේ ඒ සඳහායි. මේ යන විදියට අපි මොනවා කතා කළත් පලක් නැහැ. සියල්ල ගඟට කපූ ඉනි වගේ. මේ ආණ්ඩුව මෙහෙයවන්නේ ජාත්‍යන්තරයයි. මේ අවස්ථාවේ ජනමාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. ජනමාධ්‍යයට රටක් ගොඩ ගන්න හරි ප්‍රපාතයට හෙළන්න හැකියි. ඒ වගේම ආණ්ඩුවක් තියාගන්න හරි පලවා හරින්න හරි මාධ්‍යයට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ රට ගැන සිතා ජනමාධ්‍යවේදීන් ක්‍රියාශීලීව වැඩ කළ යුතුයි. මේ ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. උසාවියෙන් දෙන තීන්දුවත් මේ අය වෙනස් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳවත් විශ්වාසයක් තියන්න බැහැ. බලයට එන්නේ බඩ වඩා ගන්න මිස, රට ජාතිය ගැන සිතන්න නොවේ. ඒ අයටත් වැරැදුණාම අපි කියන දේ තේරෙයි.

අද භික්ෂුන් වහන්සේට මොන තරම් අපහාස නින්දා කරනවද. කිසිම කාලෙක සිදු වූ දෙයක් නොවේ මේ වෙන්නේ. මේ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා පෙන්වන දේ නෙවෙයි එහි අන්තර්ගත වන්නේ. ජේ.ආර්. කළ දෙයක් නැහැ. එතුමා කළේ ගැටඹේ බෝධියට කටුකම්බි ගහපු එක විතරයි.

මහාචාර්ය ජී. එල්. පීරිස්
මේ සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු ක්‍රමය විකෘති කිරීමක්. කාන්තා නියෝජනය කියලා පනතක් ඉදිරිපත් කළා. එහි තියෙන්නේ පිටු භාගයයි. එයට රජය සංශෝධන හතළිස් එකක් ඉදිරිපත් කළා. පිටු තිස් හතයි කියූ සංශෝධන මුවාවෙන් අලුත් පනතක් ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එය කිසිසේත් කරන්න බැහැ.

මහ බැංකු හොරකම අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් යන අය තනිවම කළ දෙයක් නෙවේ. ඒ පිටුපස සිටි සෙවණැලි කවුද කියන එකයි වැදගත් කාරණය වන්නේ. මෙය මෙහෙය වූයේ කවුද කාගේ වුවමනාවටද කවුද මේ සඳහා රැකවරණය දුන්නේ කියලා ජනතාව දන්නවා. අර්ජුන් මහේන්ද්‍ර මහතා කියනවා පැය විසිහතරක් ඇතුළත එයාට සිංගප්පූරුවේ සිට කවුද දුරකතන ඇමැතුමක් දුන්නා කියලා. මෙය මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලම සොරකමක්. මෙහි මුදල ට්‍රිලියන තුනක් කියලා ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා කියනවා. මේසා විශාල මුදලකින් ඒ අයගේ සාක්කු පුරවා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here