ආන්දෝලනාත්මක ප්‍රථම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පැවැති දිනයේ තමන් එම ස්ථානයට ගිය බව අර්ජුන් මහේන්ද්‍රන් පිළිගනී

0
588

ආන්දෝලනාත්මක ප්‍රථම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවූ 2015 පෙබරවාරි මස 27 වැනි දින තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී පෙරේදා (20දා) පිළිගත්තේය.
තමා එලෙස රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත ගියේ එදින වෙන්දේසිය අවසන් වූ පසු එහි ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා බවද ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට පිළිතුරු දෙමින් ඔහු පැවැසීය.

එදින තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දෙවරක්ම ගිය බව තමා පිළිගන්නා බවද පළමුවර එහි ගියේ තමාට මතක ආකාරයට පෙරවරු 11.00ට පමණ බවද ඔහු තවදුරටත් පැවැසීය.

කොමිසම එහි සභාපති ජ්‍යෙෂ්ඨ ශේෂ්ඨාධිකරණ  විනිශ්චයකාර කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සෙසු සාමාජිකයන් වන ජ්‍යෙෂ්ඨ ශේෂ්ඨාධිකරණ  විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විය.
කොමිසමේ ලේකම්වරයා වශයෙන් සුමතිපාල උඩුගමසූරිය මහතා කටයුතු කරයි.

කොමිසමට සහභාගිවීම සඳහා පත්කොට ඇති රාජ්‍ය නීතිඥ මණ්ඩලය ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් දෙදෙනකු හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥවරුන් හා වරියන් සිවු දෙනකුගෙන්ද සමන්විතය.
පළමුවරට තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත ගියේ තම ආරක්ෂක නිලධාරිවරයා සමඟ බවද දෙවැනි වර එහි ගියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආනන්ද සිල්වා යන මහත්වරුන් සමඟ බවද ඔහු පැවැසීය.

එලෙස දෙවැනි වරට එහි ගියේ පස්වරු 12.15ට පමණ බැව් තම මතකය බවද ඔහු කියා සිටියේය.
රජයේ මුදල් අවශ්‍යතාවන් සම්පූර්ණ කර දීම සඳහා අරමුදල් රැස්කිරීම මහ බැංකුවේ වගකීම බවද ඒ සඳහා කටයුතු මෙහෙයවීම මහ බැංකු අධිපතිවරයකුට පැවැරෙන බරපතල වගකීමක් බවද ඔහු කියා සිටියේය.

බැංකු කටයුතු පිළිබඳව මනා පරිචයක් ඇති තමා අදහස් කළේ එම දැනුම හා පරිචය භාවිත කරමින් රටේ මූල්‍ය පරිපාලනය මනාව පවත්වාගෙන යෑම බවද ඒ සඳහා විවිධ වෙනස්කම් කිරීමට තමා ක්‍රියාකළ බවද එම වෙනස්කම් අතර නිලධාරීන් හා සේවක සේවිකාවන් ස්ථාන මාරු කිරීම්ද ඇතුළත් වූ බවද ඔහු ප්‍රකාශ කෙළේය.
එදින වෙන්දේසියේදී මිල ගැනුම්පත් මඟින් රුපියල් බිලියන 20ක් පමණ වූ ප්‍රමාණයක් ලෙස ගැනුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා යැයිද ඔහු කීය.
ඒ සියල්ලම භාරගෙන එකී රුපියල් බිලියන 20ම ලබාගන්නා ලෙසට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට යෝජනා කළා.
එහෙත් ඔවුන් අනුමත කර තිබුණේ බිලියන 10යි දශම 58ක (10.58ක) ලංසු පමණයි. මූල්‍ය මණ්ඩලය අනුමත කර තිබුණේ ඒ ප්‍රමාණය පමණක් බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එය මගේ තනි කැමැත්තට ගත් තීරණයක් අනුව සිදුවූවක් නොවේ. මා කිසිදු බලපෑමක් සිදු කෙළේත් නෑ. යැයිද ඔහු පැවැසීය.
ප්‍ර: ඔබ එදින වෙන්දේසියේදී කුමන හෝ බලපෑමක් කළාද?
පි: නැහැ ස්වාමිනී. මා කරුණු සොයා බැලුවා මිස කිසිදු බලපෑමක් සිදුකළේ නැහැ. බිලියන 20ට ගන්නා ලෙස නම් මා යෝජනා කළා.
ප්‍ර: ඔබ කලින් දින සඳහන් කළ පරිදි ක්ලස්ටර් තුනක් පිහිටුවා තිබුණ නේද?
පි: ඔව්. පිහිටුවා තිබුණා. ස්වාමිනී.
ප්‍ර: හොඳයි. අර්ථසාධක අරමුදල අයත් වූයේ ඉන් කුමන එකටද?
පි: පළමුවැනි එකටයි ස්වාමිනී.
ප්‍ර: පළමුවැනි එක කියන්නේ?
පි: මූල්‍ය ස්ථායිතා යන පොකුරටයි ස්වාමිනී.
ප්‍ර: ජාත්‍යන්තර ගනුදෙනු මෙහෙයුම් දෙපාර්තමේන්තුව අයත් වුණේ?
පි: එයත් එම අංශයටමයි ස්වාමිනී.
ප්‍ර: එතකොට. අභ්‍යන්තර (දේශීය) මෙහෙයුම් දෙපාර්තමේන්තුව
පි: එයත් අයත් වූයේ එකී අංශයටමයි ස්වාමිනී.
සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා : රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අයත් වුණේ කුමන පොකුරටද?
පි: එය අයත් වුණේ 3 වැනි අංශය වන මිල නියාමන ස්ථායිතා අංශයටයි ස්වාමිනී.
ජ. නීතිඥ
ප්‍ර: ප්‍රතිපත්ති උපදේශන අංශය භාරව සිටි නියෝජ්‍ය අධිපතිවරයා වූයේ කවුද?
පි: නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතායි ස්වාමිනී.
ප්‍ර: මූල්‍ය නියාමන හා සංවර්ධන අංශය භාර වූයේ කාටද?
පි: මූල්‍ය නියාමන හා සංවර්ධන අංශය භාරව සිටියේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතාටයි ස්වාමිනී.
ප්‍ර: ධාරිතා සංවර්ධන අංශය භාරව සිටියේ කවුද?
පි: එය භාරව සිටියේ නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතායි ස්වාමිනී.
ප්‍ර: මේ කටයුතු අතරතුරේ ඔබ මහ බැංකුවේ විවිධ අංශවල නිලධාරීන් එහාට මෙහාට මාරු කළාද?
පි: ස්වාමිනී, එහාට මෙහාට මාරු කළා නෙවෙයි. අවශ්‍යතාව අනුව ඒ ඒ ස්ථානවලට මාරු කිරීමට අවශ්‍ය වූ නිසා එලෙස මාරු කිරීම් සිදු කළා ස්වාමිනී.
සහකාර අධිපතිවරුන්ට භාරව තිබූ විෂයයන්ද ප්‍රතිසංවිධානයේදී වෙනස් වුණා. ඒ අනුව එම අංශවල පවා මාරු කිරීම් සිදු කිරීමට අවශ්‍ය වුණා.
ප්‍ර: දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද එලෙස මාරු කළාද?
පි: ඔව්. ස්වාමිනී අවශ්‍යතාවන් මත මාරු කළා.
ප්‍ර: එහෙම නැතිව ඔබට ඕනෑ ඕනෑ විදියට හිතුමතයට කවුරුන් හෝ මාරු කළාද?
පි: නැහැ ස්වාමිනී. එසේ කළේ නැහැ.
ප්‍ර: ඔබ පෙර දිනයේ සඳහන් කළා එක් නිලධාරියකු වසර 5කට වඩා එකතැන නොතැබිය යුතු බවට මහ බැංකුව තුළ සම්ප්‍රදායක් පැවැති බව?
පි: එහෙමයි ස්වාමිනී.
ප්‍ර: ඔබ එයත් වෙනස් කළාද?
පි: ඔව් ස්වාමිනී, මා එම කාලය අවුරුදු 3ක් දක්වා අඩු කළා. අවුරුදු 03කට වඩා එක තැන සිටි අය වෙනත් තැන්වලට ස්ථාන මාරු කළා.
ප්‍ර: ඇයි ඔබ මෙසේ කළේ?
පි: එකම තැන එකම නිලධාරියා සිටින විට විවිධ අකටයුතුකම් සිදුවීමට ඉඩකඩ ඇති වෙනවා. විවිධ සබඳතා ගොඩනැඟෙනවා. ඒ නිසයි එවැනි ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ.
ජනාධිපති නීතිඥ හර්ෂ ද සිල්වා මහතා සාක්ෂිකාර මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
ප්‍ර: ඔබ ඊයේ ප්‍රකාශ කළා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ඔබට පූර්ණ විධායක බලතල හිමිවන බව.
පි: ඔව්. ස්වාමිනී.
ප්‍ර: බැඳුම්කර වෙන්දේසිවලට අදාළව පනවා තිබූ දඩ පොලිය වූ සියයට 5ක ප්‍රමාණය ඔබ විසින් ඉවත් කරනු ලැබුවාද?
පි: එය මා ඉවත් කළේ ප්‍රතිපත්ති තීරණයක් මතයි.
ප්‍ර: කවුද ප්‍රතිපත්ති තීරණය ගත්තේ?
පි: ටෙන්ඩර් මණ්ඩලයේ තීන්දුවක් මත එයට මගේ අනුමැතිය ලබා දුන්නා. එයට ඉතා දැඩි අනුමැතියක් වුණා.
ප්‍ර: රුපියල් බිලියන 1ක් ඉල්ලා තිබූ 2015 පෙබවාරි 27 වෙන්දේසියේදී බිලියන 10.58ක් නිකුත් කිරීමට තීරණය ගත්තේ ඔබද?
පි: නැහැ ස්වාමිනී. ඒ තීරණය ගෙන තිබුණේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවීමත් එකී පාර්ශ්වයට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවත් එතෙකින් නිමා වූ අතර සාක්ෂිකරුවන්ගෙන් ඊළඟට හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව උදා වූයේ කොමිසමට සහාය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්ඩලයටය.
එහිදී නැඟී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට වඩාත් වැඩි පරිශ්‍රමයක් දැරීමට අවශ්‍ය බවත් ඊට හේතු දෙකක් ඇති බවත්ය.

එක් හේතුවක් නම් මෙම සාක්ෂිකරු ප්‍රශ්නගත විමර්ශනයට ඍජුවම අදාළ වන සාක්ෂිකරුවකු වීම බවත්.
අනෙක් හේතුව වනුයේ මෙම කොමිසමේ සාක්ෂි විභාගය ආරම්භ වූ දිනයේ සිටම සාක්ෂි ලබාදුන් සෑම සාක්ෂිකරුවකුම සාක්ෂි දෙන අවස්ථාවන්හිදී මෙම සාක්ෂිකරුට මෙම ශාලාවේ රැඳී සිට ඒවාට සවන්දීමට කොමිසම මඟින් අවසරය ලබාදී තිබීම නිසා වඩාත් දැඩි පරිශ්‍රමයකින් ඔහුගෙන් ඇසිය යුතු හරස් ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව නිගමනයන්ට එළැඹීමේ අවශ්‍යතාවක් පැන නැඟී තිබීම බවත්ද ලිවේරා මහතා කියා සිටියේය.

ඒ අනුව ඒ සඳහා 21 වැනිදා දිනය කොමිසමේ සාක්ෂි විභාගය නොපවත්වා තම කණ්ඩායමට නිවාඩුවක් ලබා දෙන ලෙසත් සිකුරාදා දිනයේ සිට හරස් ප්‍රශ්න ඇසීමට එවිට තම කණ්ඩායමට හැකි වන බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව කොමිසම අද (22දා) උදේ 10.00ට යළි රැස්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here