අවස්ථාව මඟනොහැර ගත් මහේන්ද්‍රන්

0
741

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරට පුරවැසියකු නොවූවද ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය සිය කැමැත්තෙන් භාරගෙන ඇති නිසා ඔහුට මෙරට නීතියට අවනත නොවී සිටිය නොහැකි බව ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශන ජනාධිපති කොමිසම ඊයේ (20දා) ප්‍රකාශ කළේය.

කොමිසම එලෙස ප්‍රකාශ කර සිටියේ ඊයේ දිනයේ බොහෝ පුවත්පත්වල “අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියකු බැවින් ශ්‍රී ලංකාවේ අධිකරණයක් හෝ එවැනි බලතල සහිත කොමිසමක නියෝගවලට අවනත වීමේ අවශ්‍යතාවක් නොමැති බවට කරන ලද නීතිඥ වාචකයක් ප්‍රමුඛ පුවතක් ලෙස පළකර තිබීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.
කෙසේ වුවද අර්ජුන් ඇලෝසියස් තමන් සාපරාධී අපරාධ චෝදනාවන්ට ලක්වූ විත්තිකරුවකු හෝ ලක්වීමට නියමිතව ඇති විත්තිකරුවකු බවට තමා විසින්ම ප්‍රකාශ කරමින් කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් වැළැකී සිටි අයුරින්ම තමාගේ නිදහසට කරුණු ඉදිරිපත් කොට යම් චෝදනාවකට ලක්වීමට ඉඩ ඇතොත් ඉන් නිදහස් වීමට කොමිසම ලබාදුන් මහඟු අවස්ථාව මඟහැර ගැනීමට තරම් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෝඩ වනු ඇතැයි තමන් නොසිතන බවද ජ්‍යෙෂ්ඨ ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාර (සභාපති) කේ. ටී. චිත්‍රසිරි මහතා කොමිසමේ ත්‍රිපුද්ගල සාමාජික මඬුල්ලේ එකඟත්වය මත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

කුමන තත්ත්වයක් මත වුවද ශේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කීපයකින්මද ප්‍රකාශ කොට ඇති පරිදි ජනමාධ්‍ය වාර්තා හෝ සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් හෝ මැදිහත්වීම් සිදු කිරීමෙන් හෝ වැළැකී සිටීමට කොමිසම හැමවිටම උත්සාහ කරන බවද ප්‍රකාශ කරන්නෙමු.

එසේ වුවද ඉහත කරුණු සම්බන්ධයෙන් වැරැදි වැටහීමක් යම් අයකු තුළ ඇතිවීමට ඇති ඉඩකඩ වළක්වාලීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ “විදේශීය පුරවැසි භාවය” කොමිසමේ ඔහු සම්බන්ධයෙන් කරගෙන යනු ලබන විමර්ශනවලට කිසිදු බාධාවක් නොවන බව පැහැදිලි කිරීම වගකීමක් ලෙස සලකා මෙම ප්‍රකාශය සිදු කිරීමට තීරණය කළෙමු. තවද කොමිසමේ නියෝගය පරිදි කොමිසම හමුවට පැමිණ අනතුරුව කොමිසම හමුවේ සාක්ෂිදීමට අකැමැත්ත ප්‍රකාශ කර සිටි අර්ජුන් ඇලෝසියස්ට වඩා බොහෝ සෙයින්ම අර්ජුන් මහේන්ද්‍රන් මහතා වැදගත් වූත් වගකිවයුතු වූත් පිළිවෙතක් අනුගමනය කරමින් තමාට කොමිසම විසින් ලබාදුන් මහඟු අවස්ථාව උපයෝගි කරගැනීම ගැන සතුටට පත්වන බවද ප්‍රකාශ විය.

ඇලෝසියස් විසින් ඉදිරිපත් කරන ලද වාචකය ප්‍රතික්ෂේප කරමින් ඔහු සාක්ෂි දීම සඳහා කැඳවීමට කොමිසමේ අධිකාරි පත්‍රය අනුවත් බලපවත්නා අනෙකුත් නීති ප්‍රතිපාදන අනුවත් කොමිසමට හැකියාවක් ඇතද එසේ නොකොට හරින ලද්දේ අනෙකක් නිසා නොව කොමිසමේ අධිකාරි පත්‍රය ප්‍රකාරවත් කාලීන අවශ්‍යතාව අනුවත් නියමිත සීමිත කාල රාමුව තුළ කොමිසමේ විමර්ශන හා පරීක්ෂණ කටයුතු අවසන්කොට අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ඇති බරපතළ අවශ්‍යතාව මත බවද ඉන් ප්‍රකාශ විය.
තවද කොමිසම සිය බලතල ප්‍රකාරව අර්ජුන් ඇලෝසියස් එලෙස බලය භාවිත කොට සාක්ෂි දීම සඳහා කැඳවීමට ක්‍රියා කළහොත් ඒ සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිලිකොට අර්ථකථනයක් ඉල්ලා සිටියහොත් එමඟින් කොමිසමේ සීමිත කාලයෙන් කොටසක් ඒ සඳහාද යෙදවීමට සිදුවීමෙන් කොමිසමේ ප්‍රධාන අරමුණට සිදුවන බාධාවද සැලකිල්ලට ගනිමින් එසේ පියවර නොගැනීමට කොමිසම තීරණය කළ බවද සඳහන් කළේය.

එමෙන්ම එය ඉදිරියේදී මහාධිකරණය හමුවට යොමුවන අධිචෝදනා පත්‍රයක් සම්බන්ධයෙන් වන නඩුවකදීද ප්‍රශ්නයක් වීමේ ඉඩකඩද සැලකිල්ලට ගත් බවද වැඩිදුරටත් කොමිසමේ ප්‍රකාශයෙහි සදහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here