මෙවර අයවැය හදන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියටයි

0
726

මුදල් අමාත්‍යවරයා රවි කරුණානායක වුවත් මංගල සමරවීර වුවත් අයවැය ලේඛනය සකස් කිරීමට සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක ඉදිරිපත් කළ ආකාරයේ ව්‍යාජ අයවැය ලේඛනයක් වෙනුවට සත්‍ය සංඛ්‍යා දත්ත සහිත අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

ඊයේ (19දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
මේ වනවිට ආර්ථිකය දැවැන්ත අර්බුද දෙකකට ලක්වෙලා තිබෙනවා. අපේ ආණ්ඩුව පැවති සමයට වඩා රටේ ණය පොලී අනුපාතය 100%කින් ඉහළ ගිහින් තිබෙනවා. මේ නිසා ණය වාරික පොලී ගෙවා දැමීම පිළිබඳව සාමාන්‍ය ජනතාව විශාල ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. ව්‍යාපාරික ක්ෂේත්‍රය ගත්තත් පාරිභෝගික ක්ෂේත්‍රය ගත්තත් නිවාස ණය, වාහන ණය, කල් පවතින පරිභෝජන භාණ්ඩවල ණය මත දුවන ජනතාවක් ඉන්න රටක ණය වාරික හා පොලී ගෙවීමේ අර්බුදයක් ඇතිවීම හේතුවෙන් අද ව්‍යාපාරිකයන් පවා සියදිවි නසාගන්න තැනට පත්වෙලා තිබෙනවා.

කල්බදු හා මූල්‍ය සමාගම්වල වාරික හා පොලී හිඟ වුණු වාහන නැවත තමන්ගේ අංගණවලට ගන්නේ නැහැ. මොකද ඒවා ගෙනැවිත් දාන්න තැනක් නැති නිසා. කෙසේ හෝ ගෙවාගෙන යන්න කියලා තමයි ඔවුන් කියන්නේ. ණය පොලී අර්බුදය ඇතිවීමට හේතුව තමයි මහ බැංකුවේ මහ දවල් ඇතිවුණු මහා මුදල් මංකොල්ලය. එම නිසා ණය පොලී අනුපාතය උපරිම මට්ටමට වැඩිවෙලා තියෙනවා.

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල ගණන් දිගින් දිගටම ඉහළ ගිහින් තිබෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. සහල්වල මිලත් රුපියල් 100ට වැඩියි. පොල් සම්බෝලයක් හදාගෙන බතක් පිසගන්නවා කියන තැනේදි සහල්, පොල් දෙකේම මිල දැරිය නොහැකි මට්ටමට වැඩිවෙලා තිබෙනවා. ආණ්ඩුව පවසන්නේ ළඟ එන අයවැය ලේඛනය මඟින් ජනතාවට සහන සලසනවා කියලා. නමුත් මම කියනවා මෙවැනි බොරු තවත් කියන්න එපා කියලා.

රවි කරුණානායක මුදල් ඇමැතිවරයා අයවැය අවස්ථාවේදී සහන මලු ගෙනල්ලා තමයි ජනතාවට දුන්නේ. ඒ දෙන දෙන සහනෙට ආණ්ඩු පක්ෂයේ අය ශබ්ද නඟා අත්පුඩි ගැසුවා. හැබැයි අයවැය ක්‍රියාත්මක වනවිට ජනතාවට එවැනි සහන කිසිවක් ලැබුණේ නැහැ. මොකද බොරු සංඛ්‍යා දත්ත සහිතව පාර්ලිමේන්තුව නොමඟ යවන අයවැයක් තමයි ඔහු ඉදිරිපත් කළේ.

මුදල් ඇමැති රවි කරුණානායක වුණත් මංගල සමරවීර වුණත් ඒ සියලු දෙනාට අයවැය සකස් කිරීම සඳහා කොන්දේසි කිහිපයක් තිබෙනවා. එය තමයි ඉදිරි අවුරුදු තුනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් ණය වශයෙන් ලබාගෙන තිබෙනවා. එහිදී ඇතිවුණු ගිවිසුමේ ප්‍රධාන කොන්දේසි තිබෙනවා. එම කොන්දේසි හා ප්‍රතිපත්තිවලින් පිටට ගිහින් මංගල සමරවීර මහතාට අයවැය ලේඛනයක් හදන්න බැහැ.
පසුගිය අයවැයේ ඉදිරිපත් කර තිබෙන වැරැදි සංඛ්‍යා දත්ත පිළිබඳව විගණකාධිපතිවරයාත් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉල්ලා සිටියා සර්වජන ඡන්ද බලය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස. දැන් මුළු රටම දන්නවා මාධ්‍යවලත් පළවුණා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන බවට පළාත් සභා මැතිවරණ කල් දාන්න බැරි බවත් කිසිම හේතුවක් නිසා ජනමත විචාරණයක් පවත්වන්න නොහැකි බවත්.
පාර්ලිමේන්තුව ඉදිරියේ දැන් තිබෙනවා විශාල ගැටලුවලට භාජන නොවන පනතක්. එය තමයි පළාත් සභා මැතිවරණවලට කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා වන පනත. අපිට ලැබෙන ආරංචි අනුව ආණ්ඩුව උත්සාහ කරනවා බදාදා සහ බ්‍රහස්පතින්දා මේ පනත විවාදයට අරගෙන කමිටු අදියරේදී සංශෝධන රාශියක් ඉදිරිපත් කරලා එම පනතේ ස්වභාවය සහ අරමුණ සම්පූර්ණයෙන් වෙනස් කරන්න. එම සංශෝධනවල කියැවෙන්නේ අලුතින් ගෙන ආ කොට්ඨාස ක්‍රමය පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here