අළු යට ගිනි

0
824

ලක්ෂ විස්ස බැගින් දඩයක්ද, තවත් මිලියන 50 බැගින් වන්දි ගෙවීමකටද යටත් කොට හිටපු ජනාධිපතිගේ ලේකම් ලලිත් වීරතුංගත්, විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිටත් වසර තුනකට සිරගෙදරට යවමින් දුන් නඩු තීන්දුව මේ වනවිට දේශපාලනික වශයෙන් රටේ මහත් කැලඹීමක් ඇතිකරමින් තිබෙන බව පෙනෙන්නට ඇත.

යහපාලනය තුළ ගාල්වී සිටින මැති ඇමැතිවරුන් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් ශ්‍රී ලනිප හා එජාප ඇතැම් ජනතා නියෝජිතයන්ද මෙයින් ගල්ගැසී ගිය බවක් පිළිබඳ තොරතුරුද ගලා එමින් පවතින මොහොතක්ය.

“ලලිත් හා අනුෂ හිරගෙදරට යැව්වේ මහින්ද ඇතුළු ඒකාබද්ධය රට පුරාම ජනතාවත් එක්ක නැඟී සිටීම මෙල්ල කරන්නයි. මර්දනය කරන්නයි. බය කරන්නයි.”
මේ රටතොට තැන තැන ඇතැමුන් කතා බහ කරන දේය. කැෆේ සංවිධානයත්, ජවිපෙත් උඩපිනුම් ගහමින් කියන්නේ,
“තීන්දුව හරි. ඒ තීන්දුවට ගරු කරනවා. මේක දූෂිත නිලධාරීන්ට දුන්නු හොඳ පාඩමක්, දඬුවමක්” කියලාය.
ගම්මන්පිල කියන්නේ,

“මේ නිලධාරීන් දෙදෙනා තඹ සතයක්වත් මින් සොරා කාලා නෑය කියා තීන්දුවේම තියෙනවා නම් ඒ අය දූෂිතයන් කියන්නේ කොහොමද..?” කියලාය.
ඒ ගම්මන්පිල නීතිඥයකුද වන නිසා ඔහු දක්වන අදහස අනුවය.
ගම්මන්පිල එහෙව් නිර්වචනයක් මේ ගැන ඉදිරිපත් කරද්දී එස්.බී. දිසානායක කීවේ,
“ලලිත් සහ අනුෂ මහත්වරු හොරා කාපු අය නෙවෙයි. ඔවුන් ඉතා සරල ආදර්ශවත් ජීවිත ගත කරපු අය” කියලාය. එස්.බී. එසේ පවසමින් තමන්ගේ හෘද සාක්ෂිය විමසනවා දැයි කියන්න දන්නේ නැත.

තීන්දුවත් සමඟ උණුසුම් තත්ත්වය මැද මහින්ද හා රනිල් අතර හදිසි හමුවක් සිදුවූ පසු මාධ්‍යට මහින්ද කීවේ,
“අගමැතිවරයා පවා මේ තීන්දුව ගැන පුදුමයට පත්වුණා”ය කියලාය. අගමැති පුදුම වෙන, එස්.බී. චරිත සහතික දෙන, කතා මැද දේශපාලනයේ අභ්‍යන්තරය ගිනි ජාලාවක් මෙන් ඇවිළෙමින් පවතින්නේය. නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කරන්නට කටයුතු සිදුවීමත් ඊට අමතරව ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටීමටත් කටයුතු කර තිබියදී හිටපු ජනපති මහින්ද සෘජුවම මාධ්‍යට කීවේ……

“බෞද්ධ කටයුත්තක් විදියට මේ සිල්රෙදි බෙදීමට තීරණය කළේ මැතිවරණයට පෙරය. ඊට පෙර ඉදන් මේ කටයුතු සිදුවුණා. ඒ වෙනුවෙන් මමයි නියෝග කළේ. මේ වැඩේ ඡන්දයට සම්බන්ධ නෑ” කියලාය. මහින්ද සෘජුවම එය තමන්ගේ නියෝගයක් අනුව සිදුවූවක් බව කීමෙන් මේ උණුසුම් සහගත තත්ත්වයේදී මහින්දගේ සෘජුභාවය පෙන්වීමක් විය.

කෙසේ වෙතත් නඩු තීන්දුවකට එරෙහිව අභියාචනය කිරීමත්, ඕනෑනම් එම නඩුව විභාග කොට අභියාචනා තීන්දුවක නියෝගය ලබාදෙන තුරු විත්තිකරුවන් ඇප මත නිදහස් කිරීමට අධිකරණයට පුළුවන.

“ඔවා දෙනු පර හට තමාන් සම්මතයෙහි පිහිටා සිට” යන අදහස යළි සිහිගන්වමින් යහපාලනයේ බලවත් එජාපයට, ගම්මන්පිලගෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණේය. ඒ ප්‍රේමදාස යුගයේදී පාස්කරලිංගම් එවක ජනාධිපතිවරයාගේ ලේකම්වරයකු වශයෙන් ප්‍රේමදාස මහතාගේ නියෝගයකට කොටින්ට මුදල් යැවීමත්, ඒ අනුව වරදක් වන බවය. එය එහෙම කළා නම්, වරදක් නම් ඒ නිලධාරියා වත්මනෙහි රජයේ නිලධාරියකු ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න උදයගේ තර්කය විය. එසේ නම් පාස්කරලිංගම්ද හිරගෙට යා යුතු වන අයකු බවට අදහසක් මතු කෙරුණේය.
තත්ත්වය මෙසේ තිබියදී ජනතාව අතර කතා බහ වෙමින් තිබෙන තත්ත්වයන් සිහිගන්වමින් මට්ටු කරන්නට හෝ බියවද්දන්නට හෝ දඬුවම් කරන තැනක යහපාලන නායකයන් කටයුතු කරන බවක් පෙනෙන්නේය.

අරුන්දික ප්‍රනාන්දු රජයට එරෙහිව තම මතය ප්‍රකාශ කිරීම නිසා නියෝජ්‍ය ඇමැතිකමෙන් ඉවත් කෙරුණු බවක් කියැවුණේය. 20 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනතද පළාත් සභා තුළ බරපතළ ලෙස විවේචනයට හා පරාජයට පත්වීමට දායක වූවන් දඩයම් කරන බවක්ද ප්‍රකාශ වන්නේය. ඒ අනුව
“විස්සට විරුද්ධ අය දොට්ට” කියන්නාක් මෙන් බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සුනිල් ජයමිණි, ගිණුම්කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරාද දකුණු පළාත් සභාවේ ඇමැති වීරසුමනද තනතුරුවලින් ඉවත් කෙරුණේය.
මේ ඉවත් කිරීම් නිසා එය බරපතළ ලෙස ශ්‍රී ලනිප ඡන්ද පදනමට බලපාන බව පැහැදිලි යැයි ඒකාබද්ධයේ නායක කාරකාදීන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේය.
“පක්ෂ විනයට විරුද්ධව ගිය නිසා එහෙම කළා” කියා අරුන්දිකගේ ඉවත් කිරීමට අදහස් දැක්වූ ශ්‍රී ලනිප ලේකම් දුමින්ද, මෙසේ බුරුතු පිටින් ඉවත් කර ජන පදනමක් නැති අය ඒ ඒ තැන්වලට ගාල් කරවීම ගැන කිසිවක් නොකියන්නේය.

මේ අතර ජවිපෙ විජිත හේරත් යහපාලකයන් සඟවාගෙන කරන්නට ගිය දෙයක් හෙළිදරව් කරමින් හඬක් නඟා ඇත. ඒ අනුව ධීවර වරායන් හා නැංගුරම් පොළවල් පෞද්ගලීකරණය කිරීමෙන් රටේ ජාතික ආරක්ෂාවට, ධීවර කර්මාන්තයට හා ධීවර ජන ජීවිතයට මරු පහරක් දෙන්නට යන උත්සාහය හෙළිදරව් කෙරුණේය. ඊට උත්තර දුන් අමරවීර ඇමැති එසේ නැතැයි කීවට කිසියම් පෞද්ගලිකකරණයක අදහසක් ඔහුගේ පිළිතුර තුළම ගැබ්ව කියැවෙන්නේය.
මෙවැනි වටපිටාවක් පෙළ ගැසෙද්දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නිශ්චිත පැහැදිලි කාල රාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් පසුගිය 11දා ගෝරනාඩුවක් කර තිබුණේය.

එකම තිර පිටපතක ජවනිකා මෙන් දෝ ඊටම යාවෙමින් මෙන් අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි කිරීමේ කාර්යාලය පිහිටුවීමට ආණ්ඩුව අනුමත කර ඇත. එම කාර්යාලය ස්ථාපිත කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අතිවිශේෂ ගැසට් නිවේදනයද ප්‍රකාශයට පත්කර හමාරය.
මේ සියල්ල කැටිකරගෙන දෝ විමල් වීරවංශ පසුගිය 10දා කළුතර නගර ශාලාවේදී මෙසේ කීවේය.

“සුද්දා මේ ට්‍රයි කරන්නේ මහා සංඝරත්නයේ බලය බිඳින්නයි. අපේ මාතෘභූමියේ ඉරණම් කතාව අද අපේ අතින් ලියැවෙනවා වෙනුවට අධිරාජ්‍යවාදීන්ගේ අතින් ලියැවෙමින් තිබෙනවා. පළාත් පාලන ඡන්දයට ගියොත් හංස පූට්ටුවට බෙදිලා තරග කරන්න වෙනවා. පක්ෂ ඔක්කොම එක මල්ලට දාලා ප්‍රචාරක කටයුතු කරලා රාජ්‍ය බලය අයථා විදියට යොදවලා ඡන්ද මංකොල්ල කාලා හරි ජය ගන්නයි ආණ්ඩුවේ සූදානම.”

විමල් කියන විදියට මේ පෙළගැසෙන්නේ එවන් වටපිටාවක්ය. කෙසේ වෙතත් රට ගැන ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමක් ඇතැයි කියන යහපාලකයන්ගේ කට වැහෙන්නත් එක්ක අලුත්ම වාර්තාවලින් කියන්නේ තවත් කතාවක්ය. ඒ අනුව 2014 වසරේ නීතියේ අධිපත්‍යය අනුව 48 වැනි ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව 2017 වන විට රටවල් 20 කින් පසුපසට ගොස් 68 වැනි ස්ථානයට පත්ව තිබෙන්නේය. එසේම ආර්ථික නිදහස සහිත රටවල් අතර 2014 වසරේ 92 වන ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව 2017 වනවිට 112 වැනි ස්ථානයට පසුබැස තිබේ. එසේම 2014දී සමාගම් කරගෙන යෑමේ පහසුව අනුව 86 වැනි ස්ථානයට පත්ව සිටි ලංකාව 2017 වෙද්දී 110 වැනි ස්ථානයට වැටී ඇත. 2014 වසරේ දූෂණය අතින්ද 85 වැනි ස්ථානයේ සිටි අපේ රට පසුගිය වසරේදී 95 වැනි තැනට වැටී ඇත. මේවා සියල්ල නරක අතට වැටී ඇති නිසා හෙළිවන වාර්තාය.

කෙසේ වෙතත් රට යන අත එතරම් හොඳ නැති නිසා පෙළ ගැසෙන ආණ්ඩු විරෝධයද තියුණුය. ගෝඨාභය රාජපක්ෂ අනාගතයේ සම්මත කර ගැනීමට හදන ව්‍යවස්ථාව හරහා මතුවන බරපතළ තත්ත්වයන් ගැන සමාජය දැනුවත් කරන්නට “එළිය” හරහා කරළියට පැමිණියේය. එහිදී ගෝඨාභය පැහැදිලිව කියූ දෙයක් වන්නේ.
“නව ව්‍යවස්ථාවෙන් කරන්න හදන්නේ ත්‍රස්තවාදයෙන් දිනාගන්න බැරි වූ දේ වෙනත් මාර්ගයකින් කොටි බලවේගවලට ලබාදීම”ක්ය කියලාය.
එහිදී ආචාර්ය දයාන් ජයතිලක කීවේ,

“මේ ප්‍රයත්න දරන්නේ ශ්‍රී ලංකාව නමැති ශක්තිමත් රාජ්‍යය දුර්වල කරන්නයි” කියලාය. මේ සියල්ල මැද ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට රඳවා තබා ගනිමින් ආණ්ඩුව ජල ගාස්තුව ඉහළ දමන්නට කැස කවමින් සිටින බවක්ද වාර්තා වන්නේය. ඇමැති රාවුෆ් හකීම්
“වසර 3කට වරක් සිදුවිය යුතු දෙයක්” යැයි කියමින් එය තහවුරු කළේය. ඒ අතර විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස යැයි කියමින් විදුලිය ගාස්තු ඉහළ දමන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය විදුලිබල අමාත්‍යාංශයට යෝජනා කර තිබේ.

මේ සියල්ල මැද ඉදිරි සතිය ඉතාමත් තීරණාත්මක තැනකට තල්ලු වන ලකුණු පෙනෙන්නට තිබේ. ආණ්ඩුවේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරු 10ක් පමණ ස්ථිරවම විපක්ෂයට යන බවත් එසේ වෙද්දී තත්ත්වය තව තවත් උණුසුම් වන බවක්ද කියැවේ. ඇතැම් විට විපක්ෂයට යෑමට පෙර තවත් ඇමැතිවරයකු හෝ දෙදෙනකුද ඉවත් කරන්නට යන කතාද ඇසෙන්නේය. මහින්ද රනිල්ව හදිසියේ හමු වුණත්, රනිල් හොර රහසේ හෝ මහින්ද හමුවුවත් මේ සියල්ල මැද ශ්‍රී ලනිපයේ ආණ්ඩු විරෝධීන් මට්ටු කරන වේවැල ශ්‍රී ලනිප නායකයන් අතට අරන් ඇති බව පෙනෙන්නේය.

කෙසේ වෙතත් 20 වැනි සංශෝධනය හරහා ඡන්දය කල් දාගන්න යෑමේ උත්සාහය උප්පරවැට්ටියක් බව දන්නා විරුද්ධ පාක්ෂික බලවේග තියුණු සටනකය. ඒකාබද්ධයට ළඟ එන පළාත් සභාවලින් තීරණාත්මක වන්නේ උතුරුමැද හා සබරගමුවය. එය තවදුරටත් වසරකට වැඩි කාලයක් බලා සිටින්නට වීමෙන් අපේක්ෂා කරන නියම ප්‍රතිඵලය ලැබේද නැද්ද යන්න දැන්ම කිව නොහැකිය.

එසේම 20 සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට යහපාලකයන්ට නොහැකි වුවහොත් එය ආණ්ඩුවට පරාජයක අමිහිරි අත්දැකීමක් විඳින්නට සිදුවීමක් වන අතර එය පළාත් සභා මැතිවරණයට ආණ්ඩුවට තදින්ම බලපාන්නේය. ශ්‍රී ලනිපය රැකගන්න මෛත්‍රි පිල ගහන ගේමත්, ආරක්ෂාකාරී පියවරක් වෙත යමින් මහින්ද පිල ගහන ගේමත් තියුණුය. යහපාලකයන් අතර ශ්‍රී ලනිප මෛත්‍රි පිල දිනයිද ඇන ගනීදැයි දැන්ම කියන්නට කල් වැඩිය.

 

උපුටා ගැනීමකි. – “මව්බිම”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here