කොමිසම විසින් නිකුත් කරන ලද නියෝගය පරිදි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර විමර්ශන කොමිසම හමුවට ඊයේ (14දා) පැමිණියද තමා හට ලැබී ඇති නීති උපදෙස් මත කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව ඔහු සාක්ෂි කූඩුව වෙත නොකැඳවන ලද අතර, සිය නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ අසුන ආසන්නයේ සිට තම කෙටි ප්‍රකාශය සිදු කළේය. කොමිසම රැස්වූ අවස්ථාවේ ප්‍රථමයෙන්ම නැඟී සිටි ජනාධිපති නීතිඥ මාරපන මහතා සිය සේවාදායකයා කොමිසම හමුවේ සාක්ෂි ලබානොදෙන බව කොමිසමට දන්වා සිටියේය.
අනතුරුව නැඟී සිටි වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා කොමිසම අමතමින් කියා සිටියේ, කොමිසම විසින් පෙර දිනයේ නිකුත් කරන ලද නියෝගය වැරැදි සහගත හා කොමිසමේ අධිකාරි පත්‍රයට පටහැනි බවය. ඒ බැව් තමා ප්‍රකාශ කරනුයේ කොමිසමේ සහායට සිටින නීති නිලධාරියකු වශයෙන් නොව නීතිපතිවරයා වෙනුවෙන් බවද, දිනය තුළදීම නීතිපතිවරයා හමුවී මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡාකොට ඊළඟට ගතයුතු පියවර ගැන තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.