සිවු වැනි දිනටත් අලෝසියස්ගෙන් ප්‍රශ්න කරයි..

0
577

තම මාමණ්ඩිය වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අනුග්‍රහයෙන් රුපියල් බිලියන ගණනක භාණ්ඩාගාර බැඳුම්කර වංචා සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් ඊයේ (10දා) සිවු වැනි දිනටත් මහ බැංකු බැඳුම්කර කොමිසමේ විමර්ශන අංශයෙහි රහස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට භාජන විය.

ඉකුත් 6දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට බැඳුම්කර පරීක්ෂණ ජනාධිපති කොමිසම විසින් දන්වා තිබුණද ඔහු නොපැමිණීම නිසා වහාම පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොමිසම ඔහුට නොතීසි නිකුත් කළේය.
ඒ අනුව හත්වැනි දින පෙරවරු 8.45 වෙද්දී ඔහු සිය නීතිඥවරයා සමඟ කොමිසම හමුවට පැමිණි අතර එදින පස්වරු 6 වන තුරුත් කොමිසමේ රහස් පොලිස් විමර්ශන නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදුවිය.

පසු දිනදී එනම් 8දා කොමිසමේ දැනුම් දීම පරිදි පෙරවරු 9 වන විට ඔහු කොමිසම හමුවට පැමිණි අතර එදිනද පස්වරු 6 වන තුරුම රහස් පොලිස් විමර්ශන නිලධාරීන් දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදුවිය.
ඊළඟ දිනය සෙනසුරාදා දිනය වුවද එදිනද කොමිසමේ නියමය පරිදි තුන්වැනි දිනටත් පෙරවරු 10 වෙද්දී කොමිසම හමුවට ඔහු පැමිණ ඇති අතර එදිනද සවස් වන තුරුම ඔහුගෙන් ප්‍රශ්න කිරීම දිගින් දිගටම සිදුවිය.

ඊයේ (10දා) ඉරිදා දිනයේදී සිවුවැනි දිනටත් කොමිසමේ නියමය පරිදි පෙරවරු 10 වෙද්දී කොමිසම හමුවට පැමිණි ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුවිය.
මේ අතර අද (11දා) දිනයේ පෙරවරු 10ට දිවුරුම් ප්‍රකාශයක්ද සමඟින් කොමිසම හමුවේ පෙනී සිට තමා හට එල්ල වී ඇති බරපතළ චෝදනා සම්බන්ධයෙන් කොමිසම හමුවේ පිළිතුරු ලබා දෙන ලෙස කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතා ඔහුගේ නීතිඥවරයා මඟින් අර්ජුන් ඇලෝසියස්ට නියම කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here