ප්ලාස්ටික් භාණ්ඩ ආනයනයේදී බදු ඉවත් කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ගේන්න සැරසේ

0
583

ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සඳහා සම්පූර්ණයෙන්ම බදු ඉවත් කිරීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත් මේ නිසා ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත වැසී යෑමේ අවදානමක් පවතින බවත් සමස්ත ලංකා දේශීය කම්කරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය පැවැසීය.
ඔවුන් පවසන්නේ පරිසරය රැකගැනීම යන වචනය ඉදිරියට දමමින් දේශපාලන අධිකාරියත් මධ්‍යම පරිසර අධිකාරියත් මේ කරන්නට සූදානම් වන්නේ ඔවුන්ගේ මඩිය තරකර ගැනීමේ ව්‍යාපාරයක් බවය.

පොලිතින් හා ප්ලාස්ටික් සෑදීම වෙනුවෙන් දේශීය කර්මාන්තකරුවාට බදු සහන ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට මේ කැබිනට් යෝජනාවට අත් එසවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද එසේ අත උස්සනවා නම් ඔවුන් කරන්නේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති කඩ කිරීමක් බවද එම සංවිධානය පැවැසුවේය.
ඔවුන් මේ බව පැවැසුවේ ඊයේ (10දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා දේශීය කම්කරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක නිරුක්‍ෂ නන්ද කුමාර මහතා මෙසේ කීය.

“දිරාපත් වන ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය මෙරටට ආනයනය කරපුවහම මේ රටේ පොඩි පිඟානක් කෝප්පයක් හදන කර්මාන්තකරුවන්ට විශාල අසාධාරණයක් සිදු වෙනවා.
රටේ අගමැතිවරයා කියන්නේ අපනයනය කේන්ද්‍ර කැරගත් ආර්ථිකයක් හදන්න ඕනේ කියලයි. එහෙත් මේ කරන්නේ ඒකද? අපි ණය වෙලා ජීවත් වෙන රටක්. අගමැතිවරයා කියන්නේ 2025 වෙනකොට මේ රටේ ණය තුරන් කරනවා කියලා. ණය තුරන් කරන්නේ කොහොමද පිටරටින් ගේන භාණ්ඩවලට බදු සහන දුන්නම.
මේ රටේ සමහරුන්ට ඕන ඕන විදියට බදු සහන ගෙනැල්ලා මේ රට තවත් ණය කරන්නයි මේ හදන්නේ. ණය වෙන එකට මේ රටේ පාලකයෝ කැමැතියි. ඒතකොට මේ රටේ දේවල් විකුණන්න පුළුවන්නේ.

පසුගිය ආණ්ඩු මේ රටේ දේශීය කර්මාන්ත විනාශ කරලා දැම්මා. අපි අගමැතිවරයාගෙන් ඉල්ලන්නේ මේ වගේ අත්තනෝමතික පනත් ගෙනැල්ලා මේ රටේ කර්මාන්තකරුවන්ව අපසුතාවට පත් කරන්න එපා කියලා.

මේ රටේ සිටින සියලුම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු සියලු කර්මාන්ත සංගම් සමඟ දැවැන්ත විරෝධතාවක් පවත්වනවා මේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කළොත්. මේ රජයට විරුද්ධව එළියට බැස්සේ නැත්තේ කර්මාන්තකරුවන් විතරයි.
මේ සම්බන්ධයෙන් අපි වගකිවයුතු සියලු දෙනා දැනුවත් කරලා තිබෙනවා. නමුත් කිසිම විසඳුමක් නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here