උපාධිධාරීන්ටත් පුංචි ඡන්දයේදී නිදහස් පක්ෂයෙන් අවස්ථාව

0
505

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා ලැයිස්තුවෙන් උපාධිධාරීන් 10%කට අවස්ථාව ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ ජ්‍යෙෂ්ට උප සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
උපාධිධාරීන්ට නාම යෝජනා ලැයිස්තුවෙන් එසේ අවස්ථාවක් ලබා දීමේ විශේෂ යෝජනාව පසුගියදා (09දා) ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ විශේෂ නියෝජිත සම්මේලනයේදී ඒකමතිකව සම්මත විය.

ඉදිරියේදී උපාධිධාරීන්ට ලබාදෙන රැකියා අවස්ථාවන් විනිවිදභාවයෙන් යුතුව ලබාදීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු පෙර සිටම පක්ෂ භේදයකින් තොරව උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කටයුතු කළ පරිදිම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසත් තමා ආණ්ඩුවට යෝජනා කරන බවද ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
මේ සම්මේලනය ඇමැති රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් වීරවර්ධන, ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ මහ ලේකම් මනුල චමල් පෙරේරා, ජාතික සංවිධායක බුද්ධික ඉද්දමල්ගොඩ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here