මේ වන විට හම්බන්තොට වරායේ සමස්ත පාඩුව රුපියල් මිලියන පනස් එක් දහස් පන්සිය තිහක්.

0
593

විපක්ෂයේ ඇතැම් කණ්ඩායම්වල උවමනාව නිසා හම්බන්තොට වරාය ගිවිසුම විවාදය කඩාකප්පල් වුනත් ඕනෑම අවස්ථාවක යළිත් එම විවාදය දෙන්න ආණ්ඩුව සුදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළේය.
වරාය ගිවිසුම අත්සන් කිරිමට පෙර විවාදය ලබා දුන්නේ වැදගත් අදහස් යෝජනා ලැබුනොත් ඒවා ගිවිසුමට ඇතුලත් කිරිමට බවද අගමැතිවරයා කීවේය. අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇසු ප්‍රශ්නයකට පිළතුරු දෙමින් අගමැතිවරයා මෙසේද කීය.

හම්බන්තොට වරාය ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවස්ථා පහකදී ණය ලබා ගෙන ඇති අතර එහි එකතුව ඇමරිකන් ඩොලර් මිලියන එක්දහස් දෙසිය පනත් දෙකක්. එනම් දළ වශයෙන් රුපියල් බිලියන එකසිය අසුවක පමණ මුදලක්.

ඒ වෙනුවෙන් වසරින් වසර ගෙවූ න්‍ය වාරික ප්‍රමාණය මෙසේයි. 2014 වසරේ රුපියල් මිලියන හාරදහස් විසි තුනක්, 2015 වසරේ රුපියල් මිලියන හාරදහස් හාරසිය අසු හතක්, 2016 වසරේ රුපියල් මිලියන හාරදහස් හාරසිය අසු හතක්, 2016 වසරේ රුපියල් මිලියන හාරදහස් අටසිය අසු හයක්, 2017 වසරේ ජුනි මාසය දක්වා රුපියල් මිලියන දෙදහස් පන්සිය තිස් හතක් ලෙස ණය වාරික ගෙවා තිබෙනවා.

2017 ජුනි මාසය වන තෙක් ණය සඳහා පොලිය වශයෙන් රුපියල් මිලියන විසිහතර දහස් අටසිය අසුවක මුදලක් ගෙවා තිබෙනවා.

නමුත් හම්බන්තොට වරාය මගින් ඉපයු ආදායම මෙසේයි. 2011 වසරේ රුපියල් මිලියන දහතුනක්, 2012 වසරේ රුපියල් මිලියන එකසිය තිස් පහක්, 2013 වසරේ රුපියල් මිලියන පන්සිය අසු පහක්, 2014 වසරේ රුපියල් මිලියන එක් දහස් දෙසිය තිස් හතක්, 2015 වසරේ රුපියල් මිලියන දෙදහස් එකසිය හතලිස් පහක් සහ 2016 වසරේ රුපියල් මිලියන දෙදහස් හතලිස් එකක් වෙනවා.

ඒ අනුව දැනට ගෙවා ඇති සම්පූර්ණ ණය වාරික හා පොලී මුදල්වල එකතුව රුපියල් මිලියන හතලිස් දහස් අටසිය දහතුනක්. එසේම මේ වන විට හම්බන්තොට වරාය මෙහෙයුම්වලින් ලබා ඇති පාඩුව පමණක් රුපියල් මිලියන නව දහස් අටසිය දාහතරක් වෙනවා.

නමුත් මේ දක්වා හම්බන්තොට වරායෙන් උපයා ඇති සම්පූර්ණ ආදායම රුපියල් මිලියන හත්දහස් එකසිය දහනවයක් පමණයි. දැනට ගණන් බලා ඇති ආකාරයට මේ වන විට හම්බන්තොට වරායේ සමස්ත පාඩුව රුපියල් මිලියන පනස් එක් දහස් පන්සිය තිහක්.

රාජපක්ෂ ආණ්ඩුව රුපියල් බිලියන ගණන් ණය අරගෙන නැව් නැති වරායන් හදා ඉදිරියට ඉපදෙන දරුවනුත් ණයකාරයෝ කරලා. එම නිසා මෙම අධික ණය උගුලෙන් ගැලවී වරායෙන් යම් ප්‍රයෝජනයක් ගෙන රටේ ආර්ථික වර්ධනයට දායක කර ගැනිම වෙනුවෙන් චයිනා මර්චන්ට් පෝර්ට් හොල්ඩින් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා ලංකා වරාය අධිකාරිය සමග හවුල්කාරි සමාගමක් මගින් දීර්ඝකාලීන බදු පදනම මත හම්බන්තොට වරායේ කටයුතු ක්‍රියාත්මක කිරිම සඳහා සහන ගිවිසුමක් අත්සන් කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here