කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලයට පහරදිම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි.

0
599

අයි.එස්.අයි.එස් සංවිධානය විසින් කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලයට පහරදිමට සුදානමක් ඇති බවට පළවු වාර්තා තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරිමට ඇති සුදානම් ගැන පුවත් පතක් වාර්තා කර තිබුණද එය ඇමරිකාව ප්‍රතික්ෂේප කළ බව පැවසු අගමැතිවරයා පුවත්පතට විශේෂ තොරතුරු තිබේද කියා පරික්ෂා කර බලන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ බවද ප්‍රකාශ කළේය.

අයි.එස්.අයි.එස් ප්‍රහාරයන් සම්බන්ධයෙන් විශේෂ තොරතුරක් ඇති නම් අවශ්‍ය පියවර ගන්නා ලෙසටද තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවද අගමැතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහමන් මහතා විසින් අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න අසන අවස්ථාවේ ඇසු අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා ප්‍රශ්නයක් විමසු අතර ඒ අතරතුරදි මුජිබර් රහමන් මහතාද අතරු ප්‍රශ්නයක් නැගිය.

මරික්කාර් මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකාව තුළ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට සාමකාමිව ජිවත්විය හැකි වාතාවරණයක් අප සකස් කර තිබෙනවා. අන්තවාදින්ගේ අරමුණ ජාතිවාදය අවුස්සා රට තුළ අස්ථාවරභාවය ඇති කිරිමයි. සමහර ජනමාධ්‍යත් ජාතිවාදය, ආගම්වාදය අවුස්සන ආකාරයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. සෑම පොලිස් වසමක්ම දිවා රාත්‍රී මුර හා පාබල සංචාර සහ ප්‍රජාව දැනුවත් කිරිමේ කටයුතු සිදුරමින් මේ තත්ත්ව පාලනයට කටයුතු කරනවා.

මුස්ලිම් පල්ලි, බෞද්ධ සිද්ධස්ථානවලට හානිවූවා නම් සහන ලබාදීම අපේ ප්‍රථිපත්තියයි.ජාතිවාදයට ආගම්වාදයට අපේ රටේ ඉඩක් නැහැ. එවන් අසත්පුරුෂකම් කරන අයට හිමිවන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here