අධිවේගි මාර්ගය ඉදි කිරීමෙන් පරිසරයට හානියක් සිදුව ඇත්නම් ඒකට වග කිව යුතු පරිසර ඇමතිවරුන් තුන්දෙනාම දැන් සිටින්නේ ආණ්ඩුවේ

0
571

අධිවේගි මාර්ගය ඉදි කිරීමෙන් පරිසරයට හානියක් සිදුව ඇත්නම් ඒකට වග කිව යුතු පරිසර ඇමතිවරුන් තුන් දෙනාම දැන් සිටින්නේ ආණ්ඩුවේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රණවක ඇමතිතුමා කරන ලද ප්‍රකාශයෙන් ඇඟිල්ල දිගු කළ යුත්තේ ඔහු වෙතටම බව මන්ත්‍රීවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ඉංජිනේරුවරයෙකු බව කියන පරිසරවේදියෙකු බව කියන ගරු පා ච රණවක ඇමතිතුමා දකුණු අධිවේගි මාර්ගය වේල්ලක් ලෙස ක්‍රියා කරපු නිසා දකුණේ ගං වතුර ඇති වුණු බවට අරුම පුදුම ප්‍රකාශයක් කළා. එතුමාගේ ඒ ප්‍රකාශයත් සමග එතුමා ඇත්තටම ඉංජිනේරුවෙකුදැයි ප්‍රශ්නයක් මතු වෙනවා. එතුමාගේ ප්‍රඥාවේ ආලෝකයෙන් බිඳක් අපි වැනි අඳුරේ සිටින ජනතාවට ලබා ගැනීමට එතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා.

අධිවේගි මාර්ගය වේල්ලක් ලෙස වැසි දිය රඳවා ගත්තා නම් ජල ගැලීම් සිදු විය යුත්තේ අධිවේගි මාර්ගයට ඉහළින් ඇති ප්‍රදේශ වලටයි. නමුත් වැඩිම හානිය සිදු වුණේ අධිවේගි මාර්ගය සහ වෙරළ අතර තීරුවටයි. එසේ වුණේ කොහොම ද?

අධිවේගි මාර්ගය නොතිබෙන රත්නපුර අයගම සහ දෙනියාය වැනි ප්‍රදේශ වලට වැඩිම හානියක් සිදු වුණේ කොහොමද?

2003 අධිවේගි මාර්ගයක් නොතිබුණත් ජල ගැලීමේ දී මෙවැනිම හානියක් සිදු වුණේ කොහොමද?

ජල ගැලීමෙන් මෙතරම් හානියක් සිදු වුණේ අධිවේගි මාර්ගය නිසා කියලා අපි මොහොතකට සිතමු. කවුද ඒකට වග කියන්න ඕනෑ. පාරිසරික බලපෑම් ඇගයීම අනුමත කරලා අධිවේගි මාර්ගය හදන්න අවසර දුන්නු පරිසර ඇමතිවරු.

2006 අධිවේගි මාර්ගයේ ඉදි කිරීම් ආරම්භ වන විට පරිසර ඇමති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා.

2007 – 2010 අධිවේගි මාර්ගයේ වැඩිම වැඩ කොටස ඉටු කළේ චෝදනා නගන පා ච රණවක මැතිතුමා පරිසර ඇමති කාලයේ.

2011 දී අධිවේගි මාර්ගය සම්පූර්ණ කරන විට පරිසර ඇමති අනුර යාපා මැතිතුමා.

මේ නිසා අධිවේගි මාර්ගය ඉදි කිරීමෙන් පරිසරයට හානියක් සිදු වෙලා තිබෙනවා නම් ඒකට වග කියන්න ඕනෑ පරිසර ඇමතිවරු තුන් දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුවේ. අපේ පැත්තට දිගු කරන ඇඟිල්ල තමන්ටම දිගුකරගන්න වෙනවා ඇමතිතුමෝ කියලයි අපිට කියන්න වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here